මන්ත්‍රී විමල්ගෙන් අධිකරණ ඇමැතිට අභියෝගයක්
‘එක්ස්ප්‍රස් පර්ල්’ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් ‘බරපතළ අපරාධකරු’ වහා රටට හෙළි කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම් එය බරපතළ අපරාධයක්. ඒ නිසා වහෙන් ඔරෝ භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙළින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරනවා.
පසුගිය දිනක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළා. එයින් කියැවුණේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු කළ බරපතළ සමුද්‍ර දූෂණයට එරෙහිව වන්දි නඩුවක් නොපවරා සිටීමේ එකඟතාව ඇතිව කිසියම් පුද්ගලයකු ඩොලර් මිලියන 250කට අධික අල්ලසක් රැගෙන තිබෙන බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට එම මුදල තැන්පත් කළ ගිණුම් අංකය පවා පොලිස්පතිවරයාට දුන් බවත්ය.
අපි දන්නවා, මේ නැවේ ඇති වූ ගින්නෙන් අපේ රටේ සාගර ජීවීන්ට සහ සමුද්‍ර කලාපයට බරපතළ අගතියක් සිදු වූ බව. අගතියේ ප්‍රමාණය කොපමණද කියා තක්සේරු කළ නොහැකි මට්ටමට සිදු වුණා. එවැනි සංවේදී විනාශයක් පිළිබඳ ප්‍රශ්නයකදී මේ රටේ දේශපාලනඥයකු හෝ නිලධාරියකු හෝ ඒ නැව හිමි සමාගමෙන් අල්ලසක් ගෙන එම ප්රශ්නය යටගැසීමට හදනවා නම්, ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු වන්දිය ලැබීම වැළැක්වීමට හදනවා නම් ඒ තරම් බරපතළ අපරාධයක් තවත් තිබෙනවා යැයි අපි විශ්වාස කරන්නේ නෑ.”
නුවන් කොඩිකාර





