Home Politics News Room : රටේ සංවර්ධනයට – ඉදිරි ගමනට ප්‍රතිත්‍රස්ත පනත ඉතා වැදගත්...

News Room : රටේ සංවර්ධනයට – ඉදිරි ගමනට ප්‍රතිත්‍රස්ත පනත ඉතා වැදගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

5
0

රටේ සංවර්ධනයටත්, රට ලෝකය හමුවේ ඉදිරියට ගෙනයෑමටත් ත්‍රස්තවාදය මර්දනය කළ යුතු බවද ඒ සඳහා ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවද එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පෙරේදා (22) ගාල්ලේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය:

“අද ඇතැම් දේශපාලන කණ්ඩායම් ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා මෙවැනි පනත් ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ වෙනත් රටවලත් ක්‍රියාත්මක වෙනවා. මේ පනත ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි නිදහසින් පසුඅවුරුදු 75ක කාල සීමාව තුළ දේශපාලන පක්ෂ නායකයන් වගේම පාර්ලිමේන්තුවේ සිටි රාජ්‍ය නායකයන් 125කට පමණ අධික පිරිසක් ඝාතනය කර තිබෙනවා. එහෙත් ඒ එක මරණයකවත් සැබැ ඝාතකයන් හසු වෙලා නැහැ. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් සිවිල් පුරවැසියන් ලක්ෂ ගණනක් ඝාතනය කර තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින තැන සිල් ගෙන සිටි සිල් ඇත්තන් සිය ගණනක් වෙඩි තබා ඝාතනය කළා. ඒ විතරක් නෙමෙයි දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවටත් සිය ගණනක් මරුණුවට පත් වෙන්න බෝම්බ ගසා තිබෙනවා. අරන්තලාවේත් එසේමයි. සියගණන් භික්ෂූන් වහන්සේ මරුණුවට පත් කර තිබෙනවා.

“එම නිසා මෙවැනි රටක ස්ථාවරත්වය සඳහාත්, ආසියාවේ බලවත් රටක් බවට පත් වෙන්නත්, ලෝකයේ බලවත් රටක් බවට පෙනී සිටින්නටත් මෙවැනි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් අවශ්‍ය කර තිබෙනවා. මේ පනත 2018දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අවස්ථාවේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස මමත් අත උස්සා මේ සඳහා සහයෝගය පළ කළා.

එදා කැබිනට් මණ්ඩලයේ මේ සඳහා සහයෝගය දුන් කණ්ඩායම අද විපක්ෂයේ වාඩි වී සිටිනවා. ඒ නිසා මම හිතන්නේ නැහැ ඒ අය මේ අවස්ථාවේ මේ පනතට විරුද්ධව ඡන්දය දෙයි කියලා. 2018 ගෙනා පනතත්, 2023 දී ගෙනා පනතත් අතර ඇති වෙනස්කම් මොනවාද යන්න ජාතියට හෙළි කළ යුතුව තිබෙනවා.

2023 පනතේදී යම් පුද්ගලයකු සැක පිට අත්අඩංගුවට ගත හොත් ඒ අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාගේ නම, නිලය, තනතුර අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ ඥාතීන්ට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා සැකකරු ආරක්ෂා කිරීමටත්, ඒ අය සතියකට දෙකකට වරක් මුණගැහෙන්නත් ඒ අය ගැන සොයා බැලීමටත් මෙහිදී මහේස්ත්‍රාත්වරයාට සම්පූර්ණ බලය දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඇමතිවරයා සතුව තිබූ බලතල ඒ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දී තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් පනතක් හැටියටයි මම දකින්නේ. මේ පනත මගින් මේවායේ මූලාශ්‍රය සොයාගැනීමට පුළුවන් වෙනවා. ත්‍රස්තවාදියකු තුවක්කුව අතට ගන්න කලින් ඔහු විසින් ත්‍රස්තවාදය නිර්මාණය කළ ආකාරය මේ පනතික් සොයාගත හැකියි. එය ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට වගේම සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදීත් මෙය වැදගත් වෙනවා.“

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here