ඕනෑම පුද්ගලයෙකු තමන් කැමති මතයක් දැරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූව ද, එලෙසින් ම එවැනි පුද්ගලයෙකුගේ මරණය භාවිත කරමින්, දේශපාලන වාසී තකා ව්‍යාජ පුවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම, අනුමත කළ නොහැකි කරුණක්. කෙසේනමුත් එවැනි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව පැතීරීම හේතුවෙන්, ඒ සඳහා යොදාගෙන තිබෙන ගන්නා ව්‍යාජ ඡායාරූප, වීඩියෝ ඔස්සේ සමාජය නොමග යෑමට ලක් කිරීම ද, අපට නිරතුරුවම දැක ගන්නට ලැබෙනවා.
මේ ආකාරයට පසුගිය වසරේ ජනතා අරගලය සමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නම් තරුණයාගේ මරණය සම්බන්ධයෙන්, ඔහුගේ අවසන් කැමැත්ත ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපියක් පිළිබඳව එහි සත්‍ය තතු සොයා Fact Crescendo අප විසින් සිදු කළ කරුණු විමර්ශනයයි මේ.
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති පුද්ගලයෙකු විසින් සිය අන්තිම කැමැත්ත පිළිබඳ ලියූ ලිපියක් බවට හඟවමින් ඔහු දිවි තොරකර ගත් බවට දක්වා තිබීමක්.
පසුගිය අරගල සමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ ඔහු විසින් සිය දිවි තොර ගැනීමට හේතුවී තිබුණේ, අරගලයෙන් පසු වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග, අරගලයේ ඇතැම් ක්‍රියාකාරී සාමාජිකයන් මුදලට එක් වීම හේතුවෙන් බවත්, ඇතැම් මුදල් ගනුදෙනු හේතුවෙන් සහ රට ආරාජික කිරීමට තම දායකත්වය සැපයීම හේතුවෙන් තමන් කල කිරීමට පත් වූ බවට ත් ඔහු විසින් එම ලිපියේ සඳහන් කළ බවට දක්වා තිබුණා.
සංසරණය වූ එම ලිපියේ පැහැදිලි ඡායාරූපයක් පහතින්.
අවසන් කැමැත්තක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ ලිඛිත ලිපියක් අනාවරණය නොවූ බව පොලිසිය තහවුරු කරයි
මෙම ලිපිය සත්‍ය වශයෙන් ම ඔහු විසින් ලියන ලද්දක් නම් එය මේ වන විට පොලිස් විමර්ශන වලදී විමර්ශනය විය යුතු බැවින්. බුද්ධි ප්‍රබෝධ තාවකාලිකව ජීවත් වූ ප්‍රදේශයට අයත් මුල්ලේරියාව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජි. එස්. සුසන්ත මහතා වෙත ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය යොමු කරමින් අප විමසීමක් සිදු කළා.
එම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, බුද්ධි ප්‍රබෝධ නම් තරුණයා ඊයේ(18) දින සිය දිවි නසා ගෙන ඇති බවත් එමෙන් ම මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේදී ඔහු විසින් සිය අවසන් කැමැත්ත සම්බන්ධයෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ලියා ඇති බවට විමර්ශනය නොවුණු බවයි. නමුත් ඔහු විසින් සිය අවසන් කැමැත්ත සම්බන්ධයෙන් තම සමීපතයින් කිහිප දෙනෙකුට විද්‍යුත් ලිපියක් යොමු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වූ බව ත් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසූවා.
බුද්ධි විසින් එලෙසින් විද්‍යුත් ලිපිය යොමු කළ පුද්ගලයන් දෙදෙනෙකු අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔවුන් සඳහන් කළේ, බුද්ධි විසින් විද්‍යුත් ලිපියක් ඔවුන් වෙත යොමු කළ බව ට තහවුරු කළ හැකි වුවත්, එහි අන්තර්ගතය පිළිබඳ කිසිදු සඳහනක් කළ නොහැකි බවයි.
තවද බුද්ධි ප්‍රබෝධගේ මරණය පිළිබඳ සිය සමීපතයින් දැනුවත් කරමින් සත්‍ය වශයෙන්ම ඔවුන්ට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවත් ඔහුව වළක්වා ගැනීමට එම සමීපතයින් ක්‍රියානොකිරීම පිළිබඳ දෝෂාරෝපණයට ලක් කරමින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ද සටහන් පළ කර තිබූ බවට අපට දැක ගන්නට ලැබුණා. නමුත් මේ වන විට එම සටහන් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කර තිබේ.
එමෙන්ම අරගලයේ අරමුණු මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් බුද්ධි ප්‍රබෝධ පසුගිය කාලයේ සිය ෆේස්බුක් ගිණුම හරහා සිය කනස්සල්ල පළ කර තිබූ සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සංසරණය කර ගෙන ඇති අයුරු ද දැක ගන්නට ලැබුණා.