ඒකාධිපති පාලනයකට යොමු වන ත්‍රස්ත විරෝධි පනත පරාජය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ත්‍රස්ත විරෝධි පනත මඟින් ගෙන එන රාජ්‍ය ම්ලේච්ඡත්වය, ත්‍රස්තවාදය හරහා මේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදි අයිතිය විනාශ කිරීම මේ ආණ්ඩුවේ ඒකායන අරමුණ බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා රජයේ ඒ අරමුණ පරාජය කිරීමට සියලු ප්රගතිශීලි බලවේග ඒකරාශි කරමින් සිටින බව කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය අගයන සියලු දෙනා සමඟ එක්ව මෙය පරාජය කර, පසුව මහජනතාව සහ සිවිල් සංවිධාන සමඟ එකට එකතු වී රජය ක්‍රියාත්මක කිරීමට යන මේ ඒකාධිපති ම්ලේච්ඡ පනත සහමුලින්ම විනාශ කිරීමට සූදානම් යැයිද විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රජය සෑම විටම ජනතා අයිතීන් කෙලෙසන්න උත්සාහ කරන බවත්, විවිධ රාජ්‍ය බලවේග උපයෝගි කර ගෙන ජනතා අයිතිය සූරා කන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ මැතිවරණ අයිතිය පමණක් නොව මානව අයිතීන්ද මේ රජය උල්ලංඝනය කරන බවයි. මෙවැනි තත්ත්වයක් පැවැතිය හොත් ඉදිරියේදී රට ඒකාධිපතීත්වයකට යෑමක් බවත් ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ජන වරමින් අත් පත් කරගත නොහැකි බලය රාජ්‍ය ම්ලේච්ඡත්වය මඟින් ලබා ගැනීමට බවත් මේ ජනතා මර්දන උත්සාහයන් පරාජය කරන්නේ යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.