ඇමැති මනූෂ නානායක්කාර
මිනිස්සු ජීවත් කරවීමට සිස්ටම් එක චේන්ජ් කිරීමට කලබලයක් තිබූ බවත්, ජනතාව රවටන පටු දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට නොහැකිවීම නිසා තවත් පිරිසක් කලබලවී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවැසුවේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) එම අමාත්‍යාංශයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“ගිය අවුරුද්දේ මැයි මාසය වන විට රට තිබු තැන අපට මතකයි. තෙල්, ගෑස් නැතිව පෝලිම්වල සිටිය විදේශ සංචිත බිංදුවට වැටුණ රටක ජීවත් වු අපට රට අද තිබෙන තැනට ගෙන එන්න, මිනිස්සු ජීවත් කරවන්න, වහලා තිබු පාසල් විවෘත කරන්න, නැවත අධ්‍යාපනය පටන් ගන්න, වහලා තිබු විශ්වවිද්‍යාල සංචාරක හෝටල් යළිත් විවෘත කරන්න, නීතිය හා සාමය ස්ථාපිත වූ රටක් නිර්මාණය කරන්න අපට කලබලයක් තිබුණා.
විදේශ සංචිත ඩොලර් මිලියන 50ට විතර පහළ වැටිලා තිබුණේ. අපට තිබුණේ රත්තරං ටික විතරයි. අද වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2.3 දක්වා ඉහළ නංවාගැනීමට හැකියාව ලැබුණා. විදේශ ගත ශ්‍රමිකයා වගේම අපනයන කර්මාන්තකරුවා මේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට උදව් කළා.
රට රටවලට ගිහින් සල්ලි එවන්න එපා කියලා විදේශ ගත ශ්‍රමිකයන්ට කියද්දීත් විදේශ ගත ශ්‍රමිකයන් පසුගිය මාසයේදී විතරක් අමෙරිකානු ඩොලර් මිලියන 580ක් මේ රටට එව්වා. මේ මාස ගණනාව පුරා බිලියන ගණනක මුදලක් රටට එව්වා. අපේ රටේ මිනිසුන්ට බෙහෙත් ටික ගන්න පුළුවන් වුණා. අවුරුදු තුනකට පස්සේ අවුරුදු කන්න පුළුවන්කම ලැබුණා. මිනිස්සු ගම් බිම්වලට ගියා. සංචාරකයන් ලංකාවට ආවා. අවුරුදු උත්සව නැවත පටන් ගත්තා. ලංකා බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රවලින් විතරක් රුපියල් බිලියන 45ක් අවුරුදු සතියේදී විතරක් අරගෙන තිබුණා. මේවාට සමහරු බය වෙලා. ඒ නිසා තමයි කලබල වෙලා තියෙන්නේ. අවුරුද්දට ඇති තරම් තෙල් ලැබුණා. ජනවාරි දෙවැනිදා ඩීසල් රුපියල් 15කින්, භූමිතෙල් රුපියල් 10කින්, මාර්තු 29 වැනිදා පෙට්‍රල් රුපියල් 60කින්, ඩීසල් රුපියල් 80කින්, භූමිතෙල් රුපියල් 10කින් පහළ දැමුවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිලත් එක්ක සමපාත වෙන්න තෙල් මිල අඩු කළා. ගෑස් මිල රුපියල් 1000කින් අඩු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය අපට ලැබුණා. බංකොලොත් කියන තැනින් රට මුදා ගැනීමට හැකියාව ලැබුණා. අයෝජකයන් දැන් රටට එන්න පටන්ගෙන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, පැරිස් සමාජය ලංකාවට උදව් කරන හැටි ගැන සාකච්ඡා කරනවා. අපේ කණ්ඩායම් ලෝක බැංකු කණ්ඩායම සමඟ සාකච්ඡා කර විශාල සහන රාශියක් ගැනීමට කටයුතු කරනවා. ජපානය අපේ රට ඇතුළේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරමින් තිබෙනවා.”
අනුර ප්‍රේමලාල්





