Home Politics News Room : එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පක්ෂ අයත් අද ත්‍රස්ත විරෝධී...

News Room : එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පක්ෂ අයත් අද ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධ වෙලා

2
0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 2018 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එයට පක්ෂව ඡන්දය දුන් පිරිස් අද ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධ වන්නේ කුමන කරුණු යටතේද යන්න මහජනතාවට හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අබේවර්ධන මහතා මෙසේද කීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2018 සැප්තැම්බර් 17 වැනි දින රාජිත, කබීර්, සජිත් ප්‍රේමදාස, තලතා, ෆොන්සේකා, නිරෝෂන් පෙරේරා, වැඩ බලන ඇමැති ලෙස අශෝක් අබේසිංහ එයට පක්ෂව කැබිනට් මණ්ඩලයේදී ඡන්දය දුන්නා.

2018 ඔක්තෝබර් මස 09 වැනි දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එදා එම පනතේ මෙසේ සඳහන් කර තිබුණා.

“ත්‍රස්තවාදයෙන් හා ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරැදිවලින් ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදු කරනු ලබන ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරැදි වැළැක්වීම සඳහා ද ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකාවේ භූමිය සහ ඒ ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද ත්‍රස්තවාදී ක්‍රියා සහ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරැදි අනාවරණය කර ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදු කර ඇත්තා වූ යම් තැනැත්තකු හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීමට, අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබා දීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත් ඉවත් කිරීම පිණිස ද, ඊට සම්බන්ධ සහ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි”යනුවෙනි.

“ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරැදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිත ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහාද ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකාවේ භූමිය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදු කර ඇත්තා වූ යම් තැනැත්තකු හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබා දීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පත” වර්තමාන විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා විසින් ත්‍රස්ත විරෝධී පනත ඉදිරිපත් කර ඇති අතර, මෙයට විරුද්ධ පක්ෂය විරුද්ධ වන්නේ නම්, එදා පක්ෂව සහ අද විපක්ෂ වන කරුණු මොනවාදැයි ජනතාවට හෙළි කළ යුතුව ඇත.

2018 පනතේ පිටු 93 කින් සමන්විත එම පනතේ සඳහන් කුමන කාරණා, වර්තමාන පනතට නොගැළපේද යන්න එදා එම පනතට පක්ෂව ඡන්දය ලබා දී අද විරුද්ධ වන අය ජනතාව හමුවේ ප්‍රකාශ කළ යුතුයි.

කෙසේ හෝ අප රට දියුණු කර ගැනීමට ප්‍රධාන බාධකයක් වී ඇති රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම පනත ඉතා වැදගත්. නිදහසින් පසු සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් 125 කට වැඩිය සිටියා. අපගේ අසමගිය තුළට ඇතුළුවන බලවේග විසින් ජීවිත විනාශ වුණා මෙන්ම කිසිදු ඝාතනයක මූලාශ්‍ර සොයා ගැනීමට අපොහොසත් වී තිබෙනවා. රටක ඉතා වැදගත් වන්නේ එවැනි ක්‍රියා ආරම්භ වීමට ප්‍රථම හඳුනා ගැනීමත්, එය වැළැක්වීම සඳහා පියවර ගැනීමත්ය. කෙසේ හෝ සැකකරුවකු ආරක්ෂා කිරීම පිණිස අවශ්‍ය කරන විධිවිධාන විශාල ප්‍රමාණයක් මෙම නව පනතට ඇතුළත් වී ඇත. සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයකු ආරක්ෂා කිරීම සඳහා කරුණු විශාල ප්‍රමාණයක් ඇතුළත් වී ඇත.

මහේස්ත්‍රාත්වරුන් හට අදාළ සැකකරු පිළිබඳ සොයා බැලීමටත්, අදාළ සැකකරුගේ තොරතුරු ළඟම ඥාතීන්ට ලබා දීමත්, අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරින් හඳුනා ගැනීමත්, ඔවුන් ප්‍රසිද්ධියට පත්වීමත් වැනි සැකකරුගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර රාශියක් ගෙන ඇති මෙම පනත ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්ය.

නිදහසින් පසු අප රට සංවර්ධනය කර ගැනීමට ඇති ප්‍රධාන බාධකයක් වූයේ විටින් විට සිදු වූ, ඝාතකයින් කවුරුන්දැයි සොයා ගැනීමට නොහැකි වූ, දේශපාලන පක්ෂවල නායකයන් විශාල ප්‍රමාණයක් සහ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වී ඇති රටක මෙවැනි පනතක් ශ්‍රී ලංකාවේ දියුණුවට ඉතා වැදගත් වේ.

ලෝකයේ වෙනත් රටවල ද මෙම පනත් ක්‍රියාත්මකව පවතින අතර, ශ්‍රී ලංකාව තුළ ද ජාතික ආරක්ෂාව සඳහා මෙවන් පනත් අත්‍යවශ්‍යය. උදාහරණයක් ලෙස පාස්කු ප්‍රහාරයේ මූලාශ්‍රයන් සොයාගැනීමට නොහැකි වීම දක්වන්න පුළුවන්. දීර්ඝ කාලයක සිට රට තුළ සැලසුම්සහගතව සිදු වන රට අකර්මන්‍ය කිරීම සඳහා යොදා ගන්නා ත්‍රස්තවාදී ක්‍රියාවන් පාලනය කළ යුතුව ඇත. එහි ප්‍රධාන අරමුණක් නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩාළ කිරීමයි. ආසියාවේ පහළ තැනකට ශ්‍රී ලංකාව ඇද දැමීමයි. නිසියාකාරව පාලනය කරගෙන යන ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා ක්‍රියාකිරීමයි.

ලොව සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට හොඳම රට ලෙස ලොව නිවේදනය කළ විට ආර්ථිකයට මරු පහරක් එල්ල කරමින් පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කරන ලදි.

නිදහසින් පසු අවුරුදු 75 ක් තුළ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් විවිධ දේශපාලන මත දරන නායකයන් 125 කට වැඩිය ඝාතනය කොට සිවිල් වැසියන් දහස් ගණනාවක් ඝාතනය කර තිබෙන රටක, රටේ අනාගතය සඳහා ත්‍රස්ත විරෝධී පනත ඉතා වැදගත්ය.

විරුද්ධ පක්ෂය මේ සඳහා විරුද්ධ වන්නේ නම් එදා සහාය දැක්වීමත් අද විවේචනය කිරීමත් පිළිබඳව මහජනතාව ඒ පිළිබඳව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුය. මෙම පනතේ පිටු 102 සහ අනෙක් පනතේ පිටු 93 කියවා බලා එහි නොගැළපීම්, ජාතික ආරක්ෂාවට හානි කර වගන්ති ඇති නම් ඒ කුමක්දැයි ජාතියට හෙළි කළ යුතුව ඇත.

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here