පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ක්‍රියා කිරීම ඉතාම කනගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ ( 17) පැවත් වූ මාධ්‍ය සාකච්ජාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.
“අවුරුදු තුනට පසු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතාම උත්කර්ෂවත් ලෙස නිදහසේ සමරන්නට හැකියාව ලැබුණා. නිසි කළමනාකරණය සහ පරිණත නායකත්වයක් නිසා අත්දැකීම් බහුල නායකයෙක් විදියට වර්තමාන ජනාධිපතිවරයා කෙටි කාලයකදී රටේ හොඳ වාතාවරණයක් ඇති කළා. අගමැති වශයෙන් පස්වතාවක් රට වෙනුවෙන් ක්‍රියා කරද්දී මේ වගේම ජනතාවට නිදහසේ අවුරුදු සමරන්න හැකියාව ලැබුණා. මේ කාලයේ ජනතාව ණය බරින් මුදා ගැනීමටත්, රට සංවර්ධනයේ මාවතට අවතීර්ණ කිරීමටත් අවශ්‍ය පියවර ජනාධිපතිවරයා විසින් ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් සියලු ජනතාව සහාය දැක්වීම අත්‍යවශ්‍යයි. එසේ නොමැතිව උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමෙන් මේ අභියෝගය භාර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හරස් වෙනවා නම් ඒක ඉතාම කනගාටුවට කරුණක්. ඒක සාපලත් අපරාධයක්. මේ දරුවන්ගේ උත්තර පත්‍ර බලා ඔවුන්ට ඉදිරියට යන්න ඉඩ දෙන්න. රටේ අනාගතය වන ඔවුන්ට ඉදිරියට යන්න තියෙන අවස්ථාව අහුරන්න එපා.
ගෑස් පෝලිම් නැති කිරීම, පොහොර සහනාධාරය දීම, ඉන්ධන මිල අඩු කිරීම, පොහොර දීම, බස් ගාස්තු අඩු කිරීම, ඩොලර් අගය පහත වැටීම මේ හැම දෙයක්ම සිදු වුණාට පසු රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැති නම් ඔහු පපුව කුණු වූ මිනිහෙක්. හැමෝටම එකතු වෙන්න කියා ජනාධිපතිතුමා රබන් පදය ගහන්නේ. හැමෝම එකතු වෙන්නයි තියෙන්නේ.”
ශිරෝමි අබයසිංහ සහ
මැද කොළඹ සමූහ
ආරියරත්න ගනේගොඩ