සමඟි ජන බලවේගය විදිහට සියලු දෙනාම එකට හිඳිමින් සජිත් ප්‍රේමදාස මහතා ශක්තිමත් කරන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවැසූවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“විශේෂයෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දෙනවා, සමඟි ජන බලවේගයට විරුද්ධව. එය තමයි, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට එකතු වෙන්න යනවා කියන කතාව. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එය අමූලික බොරුවක්. මම හිතනවා, සමාජ මාධ්‍ය තුළ සහ සමහර ප්‍රසිද්ධ මාධ්‍යවල මේ කරන ප්‍රචාර ආණ්ඩුව විසින්ම සකස් කරන ලද ප්‍රවෘත්ති සහ ආණ්ඩුව විසින්ම නිර්මාණය කරන ලද ගජබින්න කියන එක. විපක්ෂ නායකතුමා ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළා. කිසිම හේතුවක් නිසා ආණ්ඩුවේ අගමැතිකම් ගන්න හෝ ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙන්න සමඟි ජන බලවේගය සූදානම් නෑ.
ජනතාව දිනාගැනීමට නොහැකි ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මොකක්ද කරන්න උත්සාහ කරන්නේ. ජනාධිපතිවරයාට ආණ්ඩුවට පුළුවන් රට ගෙන යන්න. ඒකට බාධාවක් නෑ. ඔවුන්ට එකසිය තිස් ගණන් ඉන්නවා කියනවා. හැබැයි දැන් පේන්නේ දිනෙන් දිනම එක එක්කෙනා හැලෙමින් ආණ්ඩුව දියාරු වීම. මේක වහගන්න සමඟි ජන බලවේගය මන්ත්‍රීවරුන් සහ සන්ධාන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කරගන්න උත්සාහ කරමින් සිටින බව අපට පේනවා. වරප්‍රසාද යෝජනා කරනවා. හැබැයි මම එකක් සතුටින් කියනවා, මේ දක්වාම කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එකතු කරගන්න නොහැකි වෙලා තියෙනවා. මොන වරප්‍රසාදය දෙනවා කිව්වත් එහෙම ආණ්ඩුවට හේත්තු වෙන්න පුළුවන්කමක් නෑ.”
රක්ෂණ ශ්‍රියන්ත