සමඟි ජන බලවේගය වරදාන වරප්‍රසාද මුල් කර ගනිමින් ආණ්ඩුව සමඟ එක් වීමට සූදානම් බවට සමාජගතව ඇති පුවත ව්‍යාජ බවත්, එය ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ව්‍යාජ පුවත ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් නිර්මාණය කර ඇති බවත් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් හෙතෙම එම නිවේදනයේ සඳහන් කර තිබේ.
සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට එක් වන බවට මුලින් දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළ ඒ කල්ලි සිය නවතම උපාය මාර්ගය ලෙස භාවිත කරන්නේ අගමැති මැති ඇමැති තනතුරු වෙනුවෙන් සමඟි ජන බලවේගය ආණ්ඩුව හා එක්වන බවයි. එය අමූලික බොරුවකි. පදනම් විරහිත මුග්ධ ප්‍රවෘත්තියකි.
එම කල්ලිවලත් සමඟි ජන බලවේගයේත් තීරණාත්මක බෙදුම් රේඛාව වන්නේ ඔවුන් විස්වාස කරන්නේ ඩීල් සහ විකෘතිය වන විට අප විශ්වාස කරන්නේ ජනතා බලය සහ ප්‍රකෘතිය වීමයි.
මැතිවරණයකින් මෙපිට මේ අභාග්‍යසම්පන්න ඉරණමෙන් අපේ රට මුදාගත නොහැකි බව අප තරයේ විශ්වාස කරමු.
දිගින් දිගටම අසාර්ථක ප්‍රයත්නයන්ම දරමින් මාධ්‍ය අවභාවිත කිරීමෙහි තරම මොනවට පසක් කළ ඇතැම් කුලීකාර මාධ්‍ය කිහිපයට අවධාරණය කළ යුත්තේ මෙරට ක්‍රියාත්මක ශිෂ්ටසම්පන්න මාධ්‍යයන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි යනුවෙන්ද එහි සඳහන්ය.