ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ.
“සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමග උදා වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවකි.
සියලු ජනතාව එක ම නැකතකට චාරිත්‍ර ඉටු කරන්නේ සෞභාග්‍යයේ සහ සශ්‍රීකත්වයේ අපේක්ෂාවෙන් පෙරදැරිව ය.
පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකට ය. අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ අරගලයකට අපි මැදිව සිටියෙමු. නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමට ම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමිනි.
අප වෙහෙසිය යුත්තේ, අප උත්සහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමට ය.
එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලු දෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණි.
එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිට ය.
සුබ අලුත් අවුරුද්දක් වේවා!”