රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හෝ තීරණයක් ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශයට නීත්‍යනුකූල බලයක් නැතැයි ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන ‘මව්බිම’ට පැවසීය.
වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව උන් පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
එම ආයතනය ඇත්තේ, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය යටතේ මිස කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ නොවන බව හෙතෙම අවධාරණය කළේ ය.
වියළි කලාපයේ හමුවන Macaca sinica sinica නම් දර්ශීය උප-විශේෂය සහ තෙත් කලාපයේ මෙන් ම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල හමුවන Macaca sinica aurifrons නම් උප-විශේෂය මෙරට හමුවන ප්‍රධාන විශේෂ බව ද ඔහු පැවසීය.
ඉන් වැඩි ම ව්‍යාප්තියක් සහ ඉහළ ගහන ඝනත්වයකින් යුතු වන්නේ ද, වගාවන්ට වැඩිම හානියක් කරන්නේ ද දර්ශීය මැකාකා සයිනිකා සයිනිකා (Macaca sinica sinica) නම් උප-විශේෂය බව පෙනී යන්නේ යැයි ද ආචාර්ය ජගත් ගුණවර්ධන ප්‍රකාශ කළේ ය.
ඒ කෙසේ වුවත් මෙරටදී හමුවන රිලවාගේ උප-විශේෂ පිළිබඳව සහ උන්ගේ ව්‍යාප්තිය ඇතුළු තව ත් කරුණු සම්බන්ධයෙන් මේ වනතුරුත් නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති බවට ඔහු චෝදනා කළේ ය.
ඒ නිසා රිලවුන් විශාල සංඛ්‍යාවක් අපනයනය කරන්නේ නම් ඔවුන් ලබා ගන්නේ කිනම් ප්‍රදේශවලින් ද, එම ප්‍රදේශයෙන් අල්ලා ගන්නා වඳුරන් සංඛ්‍යාව, එම සතුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමෙන් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද සොයා බැලිය යුතු බව හෙතෙම කීය.
මේ අතර චීන සත්ත්වෝද්‍යාන වෙත නම් මෙරට සිටින රිලවුන් ලක්ෂයක් ලබා දෙන්නේ අඩු තරමේ සතුන් දෙදෙනකු බැගින් හෝ රඳවා තැබිය හැකි සත්ත්වෝද්‍යාන පනස්දාහක්වත් තිබිය යුතු බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් ‘මව්බිම’ට ප්‍රකාශ කළේ ය.
සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනයට යැයි පවසමින් වුවත් ඔවුන් ඉල්ලන්නේ මෙරටට අවේණික රිලවුන් නිසා උන් ලබා දීම මෙරට සතුන්ගේ ජාන පරම්පරා අනතුරේ හෙළීමක් බව ද ඔහු අවධාරණය කළේ ය.
මෙරටට ආවේණික රිලවුන් මිනිසාට බොහෝ සමානකමක් දක්වන නිසා චීනයට රැගෙන යන රිලවුන් සායනික අත්හදා බැලීම් සඳහා වුව ද යොදා ගැනීමේ අවදානමක් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
එම සතුන් එකෙක් දෙන්නෙක් නොව ලක්ෂයක්ම එකවර ඉල්ලා සිටීම තුළ යම් සැඟවුණු අරමුණක් පවතින්නේ ද යන්න සැක සහිත යැයිද ඔහු සඳහන් කළේ ය.