රාජ්‍ය ඇමැති අනුප පස්කුවල්
රට අස්ථාවර කොට දේශපාලන වාසි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන පිරිස්වල අතකොළුවක් නොවී අවංකව තම හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්නැයි රජය සියලු සමෘද්ධි වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පස්කුවල් මහතා ප්‍රකාශ කරයි.
සමෘද්ධි වෘත්තිය සමිති 2023 වසරේ අලුත් අවුරුදු ගනුදෙනු වර්ජනය කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
රටේ ආර්ථිකය විනාශ කොට දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඇතැමුන් උත්සාහ ගන්නවා. නමුත් එවැන්නක ගොදුරක් නොවිය යුතු බව මගේ අදහසයි. පෞද්ගලික සුබ සිද්ධිය පමණක්ම නොව මේ අසීරු අවස්ථාවේ රට වෙනුවෙන් සේවය කළ යුතුයි.
අද ඇතැම් වෘත්තීය සමිතිවල මාෆියාවට යටත්වීමට සිදුව තිබේ. වර්ජනය කරමින් රට තවදුරටත් ප්‍රපාතයට ඇද දැමීම සඳහා අල්ප මාත්‍රයකින් හෝ දායක නොවිය යුතුයි.
සමෘද්ධි බැංකුවක් ගත්විට එය පෝෂණය කරන ප්‍රජාමූල සංවිධානයක් තිබෙනවා. බැංකුව එම ප්‍රජාමූල සංවිධානයේ සියලුම පවුල් පෝෂණය කරනවා. ග්‍රාම සේවා වසම් 15ක් පුරා එම සංවිධානය ක්‍රියාත්මක වෙනවා. මේ සංවිධානය හරහා සිදු කරන ගනුදෙනු හේතුවෙන් බැංකුවට යම්කිසි ලාභයක් අත්වෙනවා. එයින් යම්කිසි කොටසක් ගමේ ජනතාවට ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා.
ඒ ඔස්සේ අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබා දෙන අතර මෙය කිසිවකුටත් වැරැදි ලෙස විග්‍රහ කිරීමේ හැකියාවක් නැහැ. මෙය වැරැදි ලෙස අර්ථකථනය කරන්නේ නම් තමන්ට වැටුප් නොගෙවිය යුතු යැයි බැංකු නිලධාරීන් පැවසිය යුතුයි. මේ අතර අපේ වැටුප සියයට 50 කින් කපා හරින්නැයි සමෘද්ධි කළමනාකරුවන් පැවසිය යුතුයි.
මේ අතර අදහස් දක්වමින් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ බන්දුල තිලකසිරි මහතා පෙන්වා දුන්නේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉතිරි කිරීම්වලට අමතරව සමෘද්ධි බැංකු කේන්ද්‍ර කරගෙන අවුරුදු උත්සව පවත්වන බවත්, සමෘද්ධි බැංකු 1089ක් රටපුරා ක්‍රියාත්මක වෙමින් එළඹෙන 17 සිට මාසය පුරාවට අලුත් අවුරුදු ගනුදෙනු සිදු කරමින් ඉතුරුම් සිදු කරන ලෙසට දැනුම් දී තිබෙනවා.
මහින්ද අලුත්ගෙදර