සුළු සුළු අලුත්වැඩියාවන් සඳහා යොමු කර ඇති දුම්රිය මැදිරි මාස 03ක් ඇතුළත අලුත්වැඩියා කර කඩිනමින් ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.
ඇතැම් දුම්රිය මැදිරිවල විවිධ කොටස් අලුත්වැඩියා කිරීම සඳහා පෞද්ගලික අංශයට ද ලබා දී තිබෙනවා.
මෙරටට ගෙනවිත් කොළඹ වරායේ ගොඩ ගසා තිබූ පැරණි දුම්රිය මැදිරි පවා නැවත අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට මා කටයුතු කළා. දුම්රිය මැදිරි මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඒ සඳහා පත්කරන තාක්ෂණික කමිටුවක් මඟින්.
දුම්රිය එන්ජින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වන්නේ එම තාක්ෂණික කමිටු මඟින්. දුම්රිය මැදිරි මෙරටට ගෙන්වීමේදී යම් අඩුපාඩුවක් සිදු වී ඇත්නම් මෙම නිලධාරින් ඒ සඳහා වගකීම බාර ගත යුතුයි.
එමෙන්ම ඉදිරි සතියේදී රැස්වෙන පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ආනයනය කළ දුම්රිය එන්ජින් සංඛ්‍යාව 10ක්. දුම්රිය එන්ජින් ආනයනය කර තිබෙන්නේ 2000 වසරේදී. මීට වසර 23කට කලින් ආනයනය කර තිබෙන්නේ ප්‍රංශයෙන්. මේ සඳහා රුපියල් මිලියන 1451ක් වැය කර තිබෙනවා. මේවායින් ධාවන මට්ටමේ තිබෙන්නේ 4යි. අලුත්වැඩියා කටයුතුවලට යොමු කර ඇති එන්ජින් සංඛ්‍යාව 5යි. අපහරණය කර ඉවත් කර ඇති එන්ජින් ගණන එකයි. මේ වන විට දුම්රිය එන්ජින්වල අවශ්‍යතාව මොන තරම් තිබුණත් ආනයනයට මුදල් නැහැ. ඒ නිසා ආනයනය කිරීමේ හැකියාවක් නැහැ. එන්ජින්වල විශාල හිඟයක් තිබෙනවා. නමුත් ඒ වෙනුවෙන් මුදල් දෙන්නට හැකියාවක් නැති බව අපගේ විශ්වාසයයි. ඒ වගේම සුළු අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ධාවනාගාරවල ගාල්කර ඇති එන්ජින් හා දුම්රිය මැදිරි මාස තුනක් වැනි කාලයකින් නැවත ධාවනය සඳහා යෙදවීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මෙම අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් යම් යම් කොටස් බාහිර පාර්ශ්ව වෙත ද ලබා දී තිබෙනවා. කිසි දෙයක් මගේ කාලසීමාව තුළ සිදු වූ දේවල් නොවෙයි. සමහර දේවලට අපි වගඋත්තරකරුවන් නොවෙයි. කොළඹ වරායේ ගොඩගසා තිබුණ ඒවාත් ගෙනල්ල අපි සේවයට යොදවා තිබෙනවා. සම්පූර්ණ වාර්තාවක් උපදේශක කාරක සභාවට යොමු කරන්නට පුළුවන්.





