තිරසර සංවර්ධනය සඳහා වූ ආසියා ශාන්තිකර සංසදයේ උප සභාපති ධුරයට මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පත්වී තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර පැවති තිරසර සංවර්ධනය සඳහා වූ 10 වැනි ආසියා ශාන්තිකර සංසදයේදී නව ධුරයට ඒ මහතා පත් විය. වසර 2030 සඳහා වන තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සාමාජික රටවල් විසින් සිදු කරන ස්වේච්ඡා ජාතික සමාලෝචන කතිකා කළ අවස්ථාවේ එහි උප සභාපති ධුරයට පත්වීම ගෞරවයක් ලෙස සලකන බව ශෙහාන් සේමසිංහ මහතා කීවේය.
ගෝලීය අර්බුද හමුවේ තිරසර සංවර්ධන ඉලක්ක ඒ ආකාරයෙන්ම ජයගැනීම අසීරු කරුණක් වුවත් ජාතික මට්ටමේ එම ඉලක්ක සපුරා ගැනීමේ දෙවැනි හා තෙවැනි අදියරවලට අනුගතවීමට රටවල් කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.
සෑම රටකටම එක ලෙස ඉලක්ක ජය ගැනීමට නොහැකි වුවද නායකත්වය සහ සහයෝගීතාවෙන් ගෝලීය වපසරියන් භාවිත කර පසුගාමී රටවලට පවා දිරියක් ලැබෙන සේ කටයුතු කිරීම තම අරමුණ බව ද නව උප සභාපතිවරයා සඳහන් කළේය.
ජයසිරි මුණසිංහ