හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අද ඉන්නේ නිර්වින්දනය වෙලා යැයි හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.
ඇය එසේ ප්‍රකාශ කළේ පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය.
“ප්‍රසිද්ධ කතාවක් තියෙනවා, නිර්වින්දනය වූ ජනතාවක් ඉන්න රටක ඔවුන් පියවි සිහියට එන්න පෙර සියල්ල කළ යුතුයි කියලා. දැන් මේ ආණ්ඩුවත් කරගෙන යන්නේ ඒ වැඩේමයි. මේ ආර්ථික අර්බුදය හමුවේ තමන්ගේ බඩගෝස්තරය රැකගෙන ජීවත් වෙන්න ජනතාව විශාල සටනක යෙදෙනවා.
මේ වෙනකොටත් මර්දනය ආරම්භ කර ජනතාවට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න විදියක් නෑ. උද්ඝෝෂණය කරන්න විදියක් නෑ. තෙල් සංස්ථාවේ උද්ඝෝෂණය කළ වෘත්තීය සමිති නායකයන් විස්සකගේ රැකියා අහිමි කරන්න හදනවා. අනෙක් පැත්තෙන් මූලික අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදය අහිමි කරමින් තිබෙනවා.
කොමිෂන් සභාව කියනවා, මැතිවරණ තියන්න එය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් කියලා. ඒ සඳහා දින නියම කරලා තියෙද්දී ආණ්ඩුව සත පහකට ගණන් ගන්නේ නැතිව මැතිවරණය කල් දාලා තියෙනවා. අධිකරණය විසින් නියෝගයක් දුන්නා, මැතිවරණය තියන්න මුදල් දෙන්න කියලා. හැබැයි මේ ආණ්ඩුව විසින් අධිකරණය හෑල්ලුවට ලක් කරමින් ඡන්ද තියන්න සල්ලි දෙන්නේ නැතිව ඉන්නවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව අධිකරණයවත් සත පහකට ගණන් ගන්නේ නෑ. සියල්ල තමන්ට ඕන විදියට කරගෙන යනවා. ජනතාව බදු බරින් පුරවා රටේ ප්‍රධාන ආයතන විකුණමින් සිටිනවා. ජනතාවට තවමත් රෝහල්වල බෙහෙත් නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් තියෙනවා. මේ සියල්ල කරමින් ලාභ ලබන ආයතන විකුණන්න කටයුතු කරනවා.”
රක්ෂණ ශ්‍රියන්ත





