Home Politics News Room : කොන්දේසි පහකට යටත්ව පෞද්ගලීකරණයට එකඟයි

News Room : කොන්දේසි පහකට යටත්ව පෞද්ගලීකරණයට එකඟයි

3
0

කොන්දේසි පහකට යටත්ව පෞද්ගලීකරණයට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඊයේ (3) පැවැසීය.

පෞද්ගලීකරණය අතිශයින් ම විනිවිදභාවයකින් සිදු විය යුතු අතර පෞද්ගලීකරණය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවිය යුතුය. පෞද්ගලීකරණයට පෙර ආයතනයේ සැබෑ වටිනාකම පිළිබඳ තක්සේරු වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතු අතර පෞද්ගලීකරණයෙන් පසු සාධාරණව සහ විනිවිදභාවයෙන් පෞද්ගලිකරණ ක්‍රියාවලිය සිදුවුණු බවට විගණන වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතු ය. කමිටුවේ අනුමැතියකින් තොරව කිසි ම ආයතනයක් පෞද්ගලීකරණය කිරීමට රජයට නොහැකි විය යුතු ය.

පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරා කන වෙළෙඳපොළක් බිහි වීම වළක්වන්න සැබෑ නියාමනයක් තිබිය යුතු ය.

මව්බිමේ සතුරන් අතට මෙම ආයතන පත් වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලීකරණය සිදු නොවිය යුතු ය.

පෞද්ගලික අංශයේ කේවල් කිරීම් වැළැක්වීමට සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ආයතන පෞද්ගලීකරණය නොකළ යුතු නමුත් නව ව්‍යවසායකයන්ට අවස්ථාව ලබා දී උපරිම තරගකාරි වෙළෙඳපොළකට අවස්ථාව සැලසිය යුතු ය.

උපාය මාර්ගිකව වැදගත් ආයතන රජය සතුව තබා ගත යුතු ය. යන්න එම කොන්දේසි බව හෙතෙම ප්‍රකාශ කළේය.

“දැනටමත් පෞද්ගලීකරණයට තෝරා ගෙන තිබෙන ආයතන සඳහා විකුණන්නේ කාටදැයි කියන එකත් කලින් ම තීරණය කරලා ඉවරයි කියලා විවිධ කටකතා පැතිරෙනවා. පෞද්ගලීකරණය සඳහා ආණ්ඩුව ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් යුගවල මෙන් පරණ පාරේ ගියොත් කොමිස් කුට්ටි සඳහා රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විකුණන්න හැදුවොත් “රාජ්‍ය සම්පත් සුරකිමු” කියන සටන් පාඨයට යළි පණ ඇවිල්ලා මේ ආයතනවල බර ඊළඟ පරම්පරාවටත් පැවරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.” යනුවෙන්ද හෙතෙම කීවේය.

නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here