හිටපු ඇමැති නවින් දිසානායක
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ මැයි පළමු වෙනිදායින් පසු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති නවින් දිසානායක මහතා පැවැසීය.
හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“අපේ ආර්ථිකය දිනෙන් දින හොඳ තත්ත්වයට පත් වෙනවා. ඒ සමඟම අප ප්‍රධාන පනත් දෙකක් ඉදිරිපත් කරන්න සුදානම් වෙනවා. ආයෝජන ප්‍රවර්ධනය පනත් යාවත්කාලින කිරීම සිදු වෙනවා. කල් ගිය පනතක් වෙනුවට එක තැනකින් සියල්ල සිදු කර ගැනීමට හැකි වන පරිදි ඒ දේ සිදු කරන්න සුදානම් වෙනවා. ලෝකයේ තිබෙන පරිගණක ක්ෂේත්‍රයේ විශාල සමාගම් අපට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව බයෝ ටෙක් වැනි අංශවලට ආයෝජනය කරන්න සමාගම් කැමැත්තෙන් ඉන්නවා. ස්ටීව් හැන්කර් කියන ආර්ථික විශේෂඥයා උද්ධමනය පිළිබඳව ගණන් හදා තිබෙනවා. ගිය මාස හයේ ලංකාවත් මේ ලැයිස්තුවේ තිබුණා. දැන් එයින් ඉවත් වෙලා තිබෙනවා. ආහාර උද්ධමනය පෙබරවාරි මාසයේ 54.4%යි. මාර්තු මාසයේ 46.6% බවට පත් වෙලා තිබෙනවා. දෙසැම්බර් වෙද්දී 10% වගේ අගයකට ගේන්න හැකියාවක් ලැබේවි. ඛනිජ තෙල් මිල අඩු කළා. අවුරුදු සමයේ තවත් බඩු මිල අඩු කිරිමට ජනාධිපතිවරයාගේ බලාපොරොත්තු වෙනවා.
දැන් අපට රට පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසාම ජනාධිපතිවරයාට තවත් කාලපරිච්ජේදයක් අවශ්‍ය වෙනවා. රටේ ආර්ථික ප්‍රවර්ධනය ඇති කිරීම, දුෂණය නැති කිරීම, උද්ධමනය අඩු කිරීම සහ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම මැයි මාසෙන් පසුව සිදු කිරීමට අපේක්ෂිතයි. අපට වෙනත් පක්ෂ කඩන්න කිසිම අවශ්‍යතාවක් නෑ. අප සල්ලි වලට මන්ත්‍රීවරුන් බිලී බා ගන්නවා කියලා සජිත් ප්‍රේමදස මහතා කියා තිබෙනවා. එහෙම කරන්න අපට කිසිම අවශ්‍යතාවක් නෑ .
එක්සත් ජාතික පක්ෂය දුෂිතයන්ගෙන් තොරව ගොඩ නඟන්න බලාපොරොත්තු වෙනවා. අප හැම කෙනකුටම මව් පක්ෂයට එන්න කියලා ආරාධනය කරනවා. එජාපය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මැයි පළමු වෙනිදායින් පසු ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමේ 4 වන සාකච්ජා වටය පැවැත්වුවා. විශේෂයෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍යයන් අපත් එක්ක විවිධ මට්ටමේ වැඩසටහන් සිදු කිරීමට අපේක්ෂිතයි. ජාත්‍යන්තර සම්බන්ධතා රඳා පවතින ආසියානු බලවේග තුනක් තිබෙනවා. එකක් ඉන්දියාව, ජපානය සහ චීනය සහ ඊළඟට අමෙරිකාව ප්‍රමුඛ කණ්ඩායම සහ රුසියාව ප්‍රමුඛ අනෙකුත් රටවල් සියල්ලම සමඟ තුලනය කරන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහයි.
මේ රටේ ඛනිජ තෙල් සැපයුම්කරුවන් රාශියකට ආරාධනා කළා. එයින් ඉදිරියෙන්ම ඉන්නේ චීනයේ සිනෝපෙක් සමාගමයි. එක අතකින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිහිපයක් ඉන්දියාව එක්ක ගනුදෙනුවකට යද්දී අනිත් පැත්තෙන් චීනය එක්ක වෙනත් බෙදාහැරීම් පිළිබඳ ගනුදෙනුවට ප්‍රවේශ වෙමින් ඉන්නවා. ඛනිජ තෙල් වෘත්තීය මේ සම්බන්ධව විරුද්ධ වෙමින් ඉන්නවා. නමුත් අප බැලිය යුත්තේ ජනතාවගේ සුබ සාධනයයි.
පාඩු ලබන ආයතන ඉදිරියට ගෙන යන්න අවශ්‍ය නෑ. විදුලි බල මණ්ඩලය, ගුවන් සමාගම මේ හැම දෙයක්ම ජනතාවගේ බදු මුදලින් පාඩු ලබන ආයතනවලට ගෙවනවා. මේ ක්‍රමවේදයට අකුල් හෙලන පිරිසක් ඉන්නවා. ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් විදියට මේ දේවල් අරගෙන යද්දී කුහක වෙලා වෙන්න එපා. ඉරිසියා කරන්න එපා. තවමත් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. ඉදිරියේදී බැංකු පොලි අනුපාතය අඩු කිරීමට මහා බැංකුවේ අපේක්ෂාවක් තිබෙනවා . මහ බැංකුවට ස්වාධීනව කටයුත්ත කරගෙන යන්න අවස්ථාව දුන්නේ ජනාධිපතිවරයා.”
ශිරෝමි අබයසිංහ