නව ත්‍රස්ත පනතට එරෙහිව දේශපාලන පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තීරණය කර ඇත.
දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී ඒ වෙනුවට ආණ්ඩුව ගෙන එන නව පනතට එරෙහිව උපරිමාධිකරණයට යන බව ‘නිදහස ජනතා සභාවේ’ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ‘ඉරිදා මව්බිම’ට පැවසීය.
“ඊට එරෙහිව අපි පාර්ලිමේන්තුව ඇතුළෙත් අධිකරණය ඇතුළෙත් සිවිල් සමාජය ඇතුළෙත් කටයුතු කරනවා,” යැයි ද ඔහු අවධාරණය කළේ ය.
“මේ පනත භාෂණයේ නිදහස තියෙන හැම පුද්ගලයාට ම බලපානවා. පුරවැසියාට ඉන් වන බලපෑම වළක්වන්න බැහැ. රටේ ප්රජාතන්ත්රවාදය වළ දැමීමේ ක්‍රියාවලියට එරෙහිව අපි රටේ උපරිමාධිකරණයට යාම දක්වා කටයුතු කරනවා. එය රටේ සෑම ජන කොටසකට ම බලපාන කාරණයක්. මෙවැනි දැඩි මර්දනයක් ක්‍රියාත්මක කරන්න අලුත් පනතක් ගෙනැවිත් ක්‍රියා කිරීමට එරෙහිව අපි පාර්ලිමේන්තුව ඇතුළෙත් අධිකරණය ඇතුළෙත් සිවිල් සමාජය ඇතුළෙත් කටයුතු කරනවා. තාම මේක ගැසට් කළා විතරයි. මේකට එරෙහිව අධිකරණයට ගියාම යමක් වේවි කියලා හිතනවා. පාර්ලිමේන්තුවේ සභාගත කරලා සති දෙකක් ඇතුළත අධිකරණයට යන්න පුළුවන්. අනිවාර්යයෙන් ම මේකට අභියෝග කළ යුතු,” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරට ත් කීය.
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මර්දනය කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජයේ ඇති සූදානම පරාජය කිරීමට හා ඊට විරුද්ධව අධිකරණයට යාමට සියලු පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ‘ඉරිදා මව්බිම’ ට පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා යැයි සඳහන් කරමින් නව මර්දනකාරී පනතක් ඒ වෙනුවට ගෙන එන්නට ආණ්ඩුව අලුත් සෙල්ලමක් ආරම්භ කර ඇතැයි හෙතෙම කීය.
සියලු පක්ෂ මේ සඳහා එකතු කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය ලෙස දැවැන්ත ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවත්, ඒ සඳහා සියලු පක්ෂ කැමැත්ත දක්වා ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.
රටේ පවතින තත්ත්වයට විරෝධය දක්වමින් සිටින වෘත්තීය සමිති හා ඒවායේ නායකයන් මර්දනය කිරීමට මෙම පනත භාවිත කරන බවත් සියලු විරෝධතා මර්දනයට නව පනත භාවිත කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ත් ඔහු පැවසීය.
මේ අතර, දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ රැසක් ද එම පනතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
- අනුරාධා හේරත්, මිතුන් ජයවර්ධන






