Home Politics News Room : දේශපාලන ඉතිහාසයේ නමක් දිනාගත් ජෝශප් මයිකල්ගේ අභාවය පිරිමැසිය නොහැකි...

News Room : දේශපාලන ඉතිහාසයේ නමක් දිනාගත් ජෝශප් මයිකල්ගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක්

2
0

ජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කරමින් ජනතාවගේ නොමඳ ගෞරවයටත්, දේශපාලන සහ පරිපාලන ක්ෂේත්‍රයන්හි නිරත සියලු දෙනාගේ ආදරයටත් පාත්‍ර වූ ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ අභාවය එක්සත් ජාතික පක්ෂයටත්, පෞද්ගලිකවත් ගෙන දෙන්නේ ඉමහත් ‌ සංවේගයකි.

දේශපාලනඥයකු ලෙස මේ රටේ සමස්ත ජනතාවට අනූපමේය සේවයක් කළ ඔහුගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ ජාඇළ නගර සභාවෙනි. 1964 -1967 ජාඇළ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සක්‍රිය දේශපාලනයට එක්වූ ඔහු පසුව 1967-1970 කාලයේ ජාඇළ නගර සභාවේ උපසභාපති ලෙස පත්වී 1970-1971 කාලයේ ජාඇළ නගර සභාවේ සභාපති ලෙස ද කටයුතු කර තිබේ.

1976-1967 කාලයේ පළමු ජාතික රාජ්‍ය සභාවට ජාඇළ ආසනයෙන් තේරී පත්වූ ඔහු 1977-1978 දෙවන ජාතික රාජ්‍ය සභාවට සේම 1978-1988 සමයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.

1989 සිට 2015 දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි කාල පරිච්ඡේදයේ 2001 වසරේ දෙසැම්බර් 19 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවරයා ලෙස පත් වී 2004 පෙබරවාරි 7 වැනි දින දක්වා එම ධුරයේ කටයුතු කර තිබේ.

අපක්ෂපාති සහ ඍජු තීරණවලින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගත් එතුමාගේ නාමය රටේ එදා මෙදාතුර කථානායකවරුන්ගේ නාමාවලියේ ඉහළින්ම සකේතවත්ව පවතිනු ඇත.

ජෝශප් මයිකල් පෙරේරා මහතා ස්වදේශ කටයුතු, කම්කරු සහ ධීවර ඇතුළු අමාත්‍ය ධුර ගණනාවක් හොබවමින් කීර්තිමත් සහ ජනප්‍රිය අමාත්‍යවරයෙක් ලෙස නමක් දිනා ගනිමින් ජනතා සේවයට කැප වූ අතිදක්ෂ දේශපාලනඥයෙකි.

2006 සිට 2010 දක්වා කාලයේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරමින් සක්‍රිය සහ ජනතාවාදී සැබෑ විපක්ෂයක කාර්යභාරය පාර්ලිමේන්තුව තුළ ඉටු කිරීමට දැරූ පරිශ්‍රමය ප්‍රශංසනීය වේ.

නිරතුරුවම පක්ෂයේ විනය ආරක්ෂා කරමින් සහ සැමවිටම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව යමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ඔහු ඉටු කළ මෙහෙය සැබවින්ම ප්‍රශංසනීයය. පක්ෂයේ ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් පක්ෂය රැක ගැනීමට ගත් උත්සාහය පක්ෂයේ සාමාජිකයන්ට කිසිදා අමතක නොවන්නකි.

නිරතුරුවම මුවඟට සිනහවක් නඟා ගනිමින් කිසිවකු සමඟ උරණ නොවෙමින් පක්ෂයත් රටත් රැක ගැනීමට ඔහු ගත් උත්සාහයන් අදටත් අපට සොඳුරු මතකයන් ඉතිරි කර දී තිබේ.

එතුමා අප වෙතින් සමුගෙන ගියද තම රටටත් ජාතියටත් අවංක කැපවීමකින් යුතුව දුන් අනුපමේය සේවය තවත් බොහෝ කාලයක් රටේ ජනතාවගේ හදවත්වල නොමියෙන මතකයන් ලෙස සටහන් වනු ඇත.

ආදරණීය ජෝශප් මයිකල් පෙරේරා සහෘදයාණෙනි. ඔබට මොක් සුව අත්වේවා!.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here