පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන
ඉල්ලීම් දිනාගැනීමට ගුරුවරුන් ශිෂ්‍යයන් පලිහක් කර ගැනීමට එරෙහිව මවුපියන් ඉදිරියට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (28) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“2022 වසරට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය පසුගිය පෙබරවාරි මාසයේ අවසන් කළා. මේ කටයුතු සිදු කළේ ප්‍රශ්න රාශියක් මැද. උදාහරණයක් විදිහට ගත්තොත් පසුගිය කොවිඩ් කාලය පුරා ළමයින්ට අතපසු වු පාඩම් ආවරණය කිරීමට අතිරේක පන්ති පවත්වා ළමයින් මේ විභාගයට සූදානම් කළා.
මේ වසර අවසන් වීමට ප්‍රථම තවත් සාමාන්‍ය පෙළ විභාග දෙකක් සහ උසස් පෙළ විභාගයක් පැවැත්වීමට නියමිතයි. 2022 වර්ෂයට නියමිත සහ මේ වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ විභාග පවත්වන්න තිබෙනවා. 2022 වර්ෂයට නියමිත උසස් පෙළ විභාගය කල් දාන්න සිදු වූ නිසා නියමිත කාලයට එයත් පවත්වන්න නොහැකි වුණා.
ගුරුවරුන් 19,000ක් විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් 1100ක් පමණ ළමයි ලක්ෂ 3 කගේ ප්‍රශ්න පත්‍ර බැලීම සිදු කරනවා. ප්‍රතිඵල හරිම වෙලාවට දෙන්න නම් විභාගය අවසන් වූ වහාම ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතුයි. මෙවර විභාගය අවසන්වී ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමටත් කලින් යම් යම් වෘත්තීය සමිති විසින් විවිධ ඉල්ලීම් ඉල්ලන්න පටන් ගත්තා.
රට ආර්ථික වශයෙන් විශාල කඩා වැටීමකට ලක්ව තිබෙන මෙවැනි අවස්ථාවක මෙවැනි ඉල්ලීම් පිළිබඳව වෘත්තීය සමිති දෙපාරක් සිතා බැලිය යුතුව තිබෙනවා. වෘත්තීය සමිති කණ්ඩායම් මැදිහත් වීමෙන් මේ ගුරුවරු විරෝධතාවක නිරත වුණා. ඒ වගේම බදු සංශෝධන වැඩසටහන ආරම්භ වීමත් සමඟ මේ කණ්ඩායම තවදුරටත් ඉදිරියට පැමිණ ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරය සිදු කළා.
ගුරුවරුන්ගේ ඉල්ලීම වුණේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ඔවුන්ට දෙන දීමනාව වැඩි කරන්න කියලයි. කොවිඩ් වසංගත කාලයේ මේ අයගේ ඉල්ලීම මත රුපියල් 500ක මුදල රුපියල් 1000ක් දක්වා වැඩි කළා. එතැනිනුත් නොනැවතුණු මේ කණ්ඩායම පසුව මේ දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරන්න කියලා කිව්වා. රජය මේ මුදල රුපියල් 2000 දක්වා වැඩි කළා.
එම වැඩි කිරීමත් සමඟ ගුරුවරුන්ගේ මේ දීමනාව වෙනුවෙන් රජයට පසුගිය අවුරුදුවලට වඩා රුපියල් මිලියන 480ක පමණ වියදමක් වැඩිපුර දැරීමට සිදු වෙනවා. දරුවන්ගේ අනාගතය විනාශවීමට දිය නොහැකි නිසා රජය විසින් මේ මුදල් ප්‍රමාණය ගුරුවරුන් වෙනුවෙන් වෙන් කළා. නව බදු ප්‍රතිපත්තිය නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ කටයුත්තෙන් ඉවත් වීමට තීරණය කළා. ඔවුන්ගේ තීරණය අනුව රජය දරුවන් ගැන සිතා ඔවුන්ගේ දීමනා ද 100% කින් වැඩි කළා. ඇතැම් අවස්ථාවල 150% කින් පමණ ඔවුන්ගේ දීමනා වැඩි කර තිබෙනවා.
ඉතා අමාරුවෙන් රජය මේ වැඩි කිරීම් සිදු කළත් මොවුන් තවමත් උත්තර පත්‍ර ඇගයීමේ කටයුත්ත ආරම්භ කර නෑ. මෙය සම්පූර්ණයෙන්ම බලපාන්නේ අපේ රටේ දුවා දරුවන්ට.
මේ තත්ත්වය තවදුරටත් පැවතියොත් ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට මෙය ගමන් කරනවා. මේ ගුරුවරුන්ගේ ගැටලුවට අපේ රටේ දරු පරපුර සම්බන්ධ කර ගත යුතු නෑ. කිසිම අවස්ථාවක වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලට දරුවන් සම්බන්ධ කරගන්න එපා. ලෝකයේ කිසිම තැනක මේ ආකාරයට ක්‍රියා කරන්නේ නෑ. වැඩිහිටියන්ගේ ප්‍රශ්න විසඳුණාම ඔවුන් ඉන් පහුවදා සිටම සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් දරුවන්ට එහෙම බෑ. ඔවුන්ගේ අධ්‍යාපන චක්‍රය එකකට එකක් සම්බන්ධ වෙලා තිබෙනවා.
මේ අවස්ථාවේදී මවුපියන්ට ඉතා විශාල කාර්යභාරයක් කළ යුතුව තිබෙනවා. ඒ මේ ඇගයීම් කටයුතු නිසි ක්‍රමවේදයට පවත්වාගන්න මවුපියන්ගේ මැදිහත්වීම අවශ්‍ය වෙනවා. ගුරුවරුන්ගේ මේ ක්‍රියා කලාපය නිසා අපේ රටේ දරු පරපුර සම්පූර්ණයෙන්ම වැරදි මාර්ගයක ගමන් කළ හැකියි. එම නිසා ඉතාමත්ම ඉක්මනින්ම මේ සඳහා මවුපියන්ගේ මැදිහත්වීම අවශ්‍යයි.”
ශිරෝමි අබයසිංහ