රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය
මේ මොහොතේ රටේ පැවතිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සමඟ මුදල් අමාත්‍යාංශයේ පෙරේදා (28) පැවති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“රට ආර්ථික වශයෙන් අතිශය තීරණාත්මක අවස්ථාවකට පත්ව ඇති නිසා සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතිනවා. මාධ්‍යවේදියකු මගෙන් විමසා සිටියා ආණ්ඩුව දැන් මහගිරිදඹ නැඟලා ඉවරද කියලා. ඇත්තටම දැන් තමයි අපි මහගිරිදඹ නඟින්න පළමු පියවර තිබ්බේ. මේ තරම් කල් අපි හිටියේ හිමේ. පාර පෙනුණේ නෑ. දැන් අපට පාර පේනවා. අපි මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතුවා. නමුත් ඒ හැම වතාවකදීම අවශ්‍ය ණය මුදල ගත්තට පස්සෙ ඔවුන්ගේ මඟ ගියේ නෑ. අවසානයේ අපිම රැවටුණා.
මේ එළැඹිලා තියෙන්නේ සියලු පාර්ශ්ව එකතු වෙන්න ඕනෙ අවස්ථාවක්. විශේෂයෙන්ම වෘත්තීය සමිති විදියට ඔබ, මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ සියල්ල එකතු වෙලා මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕනෙ. අපි දන්නවා අසුබ මාතෘකා ඕනෙ තරම් මේ වගේ ආර්ථික පසුබිමකදී සොයා ගන්න අපට පුළුවන්. නමුත් මේ ඊට අවස්ථාව නෙවෙයි.
එක්තරා ආයතනයකින් කළ සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා, මෙරට අවුරුදු 19ත් 30ත් අතර තරුණ තරුණියන්ගෙන් 85%ක් කුමන හෝ රටකට යෑමේ කැමැත්තෙන් සිටිනවා කියලා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි හැමෝටම අසීරු භූමිකාවක් රඟපාන්න වෙනවා.”
මෙහිදී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහත්වරුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි සහ එම ක්‍රියාවලිය පිළිබඳ දැනුම්වත් කිරීම් සිදු කළහ.
නුවන් කොඩිකාර