ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම වාරික වශයෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක මුදලින් අප්‍රේල් මස රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට රජය තීරණය කොට ඇති බව ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
මහනුවරදී අද (මාර්තු 26) දින මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ ඒ මහතා කියා සිටියේ, වෙන විකල්පයක් නොමැති බැවින් එම මුදලින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ය.
මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“රාජ්‍ය සේවකයෝ ලක්ෂ පහළොවකට රජය මැදිහත් වී මාසිකව පඩි ගෙවනවා. මේක රටට දැරිය නොහැකි බරක්. රාජ්‍ය සේවයෙන් රටට යම් සේවයක් වුව ද තවත් පිරිසක් තමන් ගන්න වැටුපටවත් සේවයක් කරන්නේ නෑ. මේ තත්ත්වය අධ්‍යයනය කරපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී තිබෙන්නේ රාජ්‍ය සේවකයෝ අඩු කරන්න කියලයි. අද දේශපාලන බලපෑම්වලට යට වූ ඉහළ වැටුප් ගන්න රජයේ සේවක පිරිසක් වැටුප් වැඩි කරන්න කියලා පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. යන්තම් ඔලුව උස්සන රට නැවතත් කඩාකප්පල් කරන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. මේ අයගේ තියෙන්නේ දේශපාලන උවමනාවක් විතරයි.
දැන් බලන්න බිත්තර ඒකාධිකාරිය කඩන්න කියලා අමාත්‍යවරයා ඉන්දියාවෙන් බිත්තර ගෙන ආවා. ඒත් බිත්තර ගෙනාපු නැව දවස් ගානක් තවමත් මහ මුහුදේ. රජයේ සේවකයන්ට ඇයි බැරි මේකට මැදිහත් වෙලා ඉතා කඩිනමින් මේ බිත්තර ටික ගොඩ බාගන්න. මේක තමයි රාජ්‍ය සේවයේ තත්ත්වය. මෙහෙම ගියොත් මේ රාජ්‍ය සේවය කියන එක රටේ ජනතාවට තිත්ත වෙනවා. දැනටත් එපා වෙලයි තියෙන්නෙ. පෞද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 70 ක් තමන් ගන්න වැටුපෙන් කොහොමහරි ජීවත් වෙනවා. රාජ්‍ය සේවයේ අය සියලු වරප්‍රසාද අරගෙන තව ත් පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණය කරනවා. මේ ලැබුණු ණය රජයේ සේවකයන්ට පඩි ගෙවනවා හැර වෙන කරන්න දෙයක් නෑ. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට උපදෙස් දීලා තියෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න කියලා. රාජ්‍ය සේවකයෝ අඩු කරන්න කියලා. බදු පනවන්න කියලා. ඒක තමයි තත්ත්වය.
මේ තත්ත්වය තේරුම් අරගෙන වාද භේද දුරලා රට ගොඩගන්න වැඩ කරන එක තමයි අපි සැමගේ යුතුකම. අපි කැප වීමෙන් වැඩ කරොත් පමණයි රට ගොඩගන්න පුළුවන්. නැත්නම් හැමදාමත් ණය ගොඩේ හිර වෙලා ඉන්න තමයි අපිට වෙන්නේ යනුවෙන් ද හෙතෙම වැඩිදුරට ත් කීය.”