දිවයිනේ සියලු ම ජාතික සහ පළාත් පාසල්වල ප්‍රාථමික හා 6 -11 ශ්‍රේණිවල පවතින ගුරු පුරප්පාඩුවලට අදාළව ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 7500කට අධික පිරිසකට ඉදිරියේදී ගුරු පත්වීම් ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමති නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත ‘ඉරිදා මව්බිම’ ට පැවසීය.
මෙම කණ්ඩායම මේ වන විට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන බව ත්, ප්‍රතිඵල ලැබුණු වහාම ඔවුන් වෙත එම පත්වීම් ලබාදෙන බව ත් ඇමතිවරයා සඳහන් කළේ ය.
එසේ පත්වීම් ලබා දෙන ඔවුන් ජාතික පාසල් හා පළාත් පාසල්වල ප්‍රාථමික හා 6-11 ශ්‍රේණිවල එක් එක් විෂයයන් සඳහා පවතින පුරප්පාඩු වෙනුවෙන් අනුයුක්ත කිරීමට කටයුතු කරන බව ද ඇමතිවරයා පැවසීය.
ඊට අමතරව ජාතික හා පළාත් පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) ගුරු පුරප්පාඩු හා ඉතිරි සා.පෙළ පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතව ඇති බව සඳහන් කළ ඇමතිවරයා මෙම බඳවා ගැනීමට අදාළ 2023-01-27 දිනැති අංක 2317 බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇතැයි පැවසීය.
ඒ අනුව, උක්ත බඳවා ගැනීමට අදාළව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ලිඛිත තරග විභාගය 2023 මාර්තු 25 වන දා පැවැත්වූ බව ද හෙතෙම සඳහන් කළේ ය.