‘ශ්‍රී ලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 මාර්තු 03 වැනිදා විභාගයට ගැනුණු අංක : SCFR 69/2023 දරන නඩුව ගැන ඔබ කරුණු දන්නෙහිය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු යටතේ මෙම නඩුව විභාගයට ගැනිණි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා වගඋත්තරකරු ලෙසට ඔබ වෙනුවෙන් පෙනී සිටියේය. මෙහිදී පෙත්සම්කරු, මැතිවරණ කොමිෂන් සභාව සහ භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් පෙනීසිටින සියලු නීතිඥවරුන්ද දීර්ඝ ලෙස කරුණු දැක්වීම්වලින් පසුව එම ඉල්ලුම්පත්‍රය ඉදිරියට ගෙනයෑමට අවසර ලැබුණේය. එම අයැදුම්වලට අනුව ඊට පසුව අතුරු නියෝග ලබාදීමටත්, අතුරු නියෝග නිකුත් කිරීමටත් නියෝග කරන ලදී. 2023 පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමේ අරමුණ මෙම ඉල්ලුම්පත්‍රයේ අවසාන විනිශ්චයයි. එහිදී වගඋත්තරකරුවන්, ඔවුන්ගේ සේවකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් මෙන්ම ඕනෑම රජයේ නිලධාරියකුද 2023 මුදල් වර්ෂය සඳහා ක්‍රියාකාරකම්වලට අදාළව අයවැය ඇස්තමේන්ත මගින් හෝ 2023 වසර සඳහා වන අයවැය මගින් හෝ වෙන්කරන ලද අරමුදල් රඳවා තබාගැනීමෙන් වළක්වනු ලබයි. මෙහිදී ගරු අධිකරණය සුදුසු යැයි සැලකෙන අතුරු නියෝගයෙන් නිකුත් කරයි. එම නියෝගවල ප්‍රතිඵලයක් ලෙසට 2023 මාර්තු 07 දින SCFR69/2023 නඩුවේ අතුරු නියෝග නිකුත් කරමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන මුදල් නිදහස් කරන ලෙසට ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔබ වෙත ලිඛිතව දන්වා එවා ඇත. මුදල් වාරිකය ලෙස රුපියල් මිලයන 100ක් මෙම මාර්තු 14 සිට ආරම්භ වන පරිදි නිකුත් කිරීමට ඔබට නියෝගයක් නිකුත් කෙරී තිබුණා. එහෙත් ඔබ එදිනම එම ලිපියට පිළිතුරු දෙමින් කියා සිටියා, 2023.02.13 දින ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණයක් හේතුවෙන් ඔබට එම මුදල් නිදහස් කිරීමට නොහැකි බව. එහිදී ඔබ එම නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබෙනවා…’
කුමක්ද මේ භාරදූර කතාන්දරය? අද ශ්‍රී ලංකාව තුළ සිදුවනු ලබන කාලීන වශයෙන් අතිශය වැදගත් වූ බැරෑරුම් කතාන්දරයක් ආශ්‍රිතව මෙම වගතුග ඇසෙන්නට විය. එනම් වත්මන් රාජ්‍ය පාලන තන්ත්රය මිනිසුන්ගේ සර්වජන ඡන්දය කොල්ලකෑම නොහොත් මැතිවරණයන් නොපැවැත්වීම එම නිර්දය, නිහීන කතාන්දරයයි. මේ වන විට මෙරට පමණක් නොව මුළුමහත් ජාත්‍යන්තරයම දන්නා මෙම වගතුග මහත් ආන්දෝලනාත්මක එකකි. මෙවැනි වටපිටාවක් තිබියදී ඉහත ප්‍රකාශය සිදුවී ඇත්තේ කුමන සිද්ධියක් හරහාද? එය නම් පසුගියදා උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදුන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන වහාම නිදහස් කරන ලෙස රජයට දන්වමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදුන්නේ දැනට මෙම මැතිවරණය කල්දැමීමේ හෝ නොපැවැත්වීමේ ප්රශ්නය ගැන අතිශය ප්‍රබල මැදිහත්වීමකින් යුතුව මහා විරෝධතා ව්‍යාපාරයක් ගෙනගිය සමගි ජන බලවේගය (සජබ) පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලද පෙත්සමක ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් අධිකරන නියෝග එලෙස ලබාදී තිබුණද මේතාක් රජය ඉහත කී මුදල් ප්‍රතිපාදන කිසිවක් ලබාදීමක් සිදුකර නැත. මෙම තත්ත්වය යටතේ දැන් සමගි ජන බලවේගය නැවත මෙම මහා සටනට පිවිසෙන්නේ තවත් ප්‍රබල පියවරක් ගනිමිනි. එනම් ඉහත නියෝගය ඉටුකරනු ලබන්නේ නැවත චෝදනා ලබා තිබෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීමය. එලෙස නඩු පැවරීමට ප්‍රථම මුදල් ලේකම්වරයා වෙත සමගි ජන බලවේගය සිය නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් (Letter of demand) ඉදිරිපත් කර ඇත. නීතිඥ සම්පත් විජේවර්ධන මහතා විසින් මෙම එන්තරවාසිය ඉදිරිපත් කර ඇත. අද ඔබට මෙම ලිපියේ ඉහත ලියා තැබුවේ එම එන්තරවාසියේ එක් කොටසකි. එහි තවදුරටත් මෙසේ සඳහන් වෙයි.
‘ඔබ මෙලෙස මැතිවරණය සඳහා මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා. එසේම මේ සඳහා ඔබ විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවත්, වැඩිදුරටත් දන්වා තිබුණා. එහිදී මේ වන විටත් ඔබ එම රුපියල් මිලියන 100ක මුදල 2023 මාර්තු 14 දාට පෙර නිදහස් කිරීමට කටයුතු කර නැහැ. මෙම නඩුවේ දෙවැනි වගඋත්තරකරු වන්නේ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටින ගරු නීතිපතිවරයා බවත් ඔබ දන්නවා. එහිදී ඒ අනුව අප අවධාරණය කර සිටින්නේ මෙම නඩුවේ නියෝගයක් ගරු මුදල් අමාත්‍යවරයාටද අදාළ වන බවයි. ඔබ මෙම SCFR69/2023 නඩුවට අදාළව ඔබගේ නීතිඥන් හරහා ගරු අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, කැබිනට් තීරණයකට අනුව මැතිවරණයට මුදල් නිකුත් කිරීම සිදුකළ නොහැකිය කියායි. ඔබ වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා මේ තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විමසා තිබුණා. නිකුත් කර ඇති අතුරු නියෝග පිළිබඳ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිසුරුවරුන් විසින් සියලු පාර්ශ්වයන්ගෙන්ද කරුණු අසා විමසීම්ද සිදුකර තිබුණා. මෙවැනි තත්ත්වයක් යටතේ එබැවින් ඔබ විසින් රටේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පැහැදිලිවම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති ආකාරය ප්‍රකාශ කළ යුතුයි. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවත් ප්‍රකාශ කළ යුතුයි. මෙලෙස ගරු අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් ඔබට චෝදනා එල්ල වන බවද මෙයින් ඔබට දැනුම් දෙනු ලැබේ. පෙත්සම්කරුගේ සියලු අයිතිවාසිකම් මෙයින් වෙන්කර තබන බවද දන්වා සිටිනු ලැබෙයි…’
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම සිදුවීම පිළිබඳ කියා සිටියේ ඔවුන් තමන්ගේ නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති එම ඉල්ලීම් ලිපියට දින 07ක් ඇතුළත ප්‍රතිචාර ලබාදිය යුතු බවය. එසේ දින 07ක් ඇතුළත නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් මුදල් ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ලබන සතියේදී ගොනුකරන බවය. එසේම මෙලෙස රටේ උත්තරීතර අධිකරණය හෑල්ලුවට ලක්කිරීම සහ අපකීර්තියට පත්කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසටද පෙන්වා දී ඇත. ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් වෙත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස රජයට නියෝග කරන ලෙසට ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි. රටේ උත්තරීතරම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ නියෝගයක් ලබාදී තිබියදීත් එය නොසලකා හැරීම මේ වන විට විශාල අර්බුදයක් බවට පත්ව ඇත. 2023 අයවැයෙන් මෙම මැතිවරණය පැවැත්වීම උදෙසා මැතිවරණ කොමෂන් සභාව වෙත රුපියල් බිලියන 10ක (කෝටි 100ක්) වෙන්කර ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. එහෙත් මේ වනතෙක් කිසිදු මුදල් ප්රතිපාදනයක් ලබාදී නොමැත.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් ලබා නොදී වගකීම් පැහැරහැර ඇති සියුල දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, මැතිවරණය කල්දැමීමේ කූට ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලුබලවේග එකතු කිරීමටත් සමගි ජන බලවේගය කටයුතු කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය. පසුගිය ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ග දිනාගන්නා තෙක්ම සමගි ජන බලවේගය මාස ගණනාවක් පුරා දැඩි සටනක නිරතව සිටියේය. එම අරගය මේ වන විටද නොනැවතී සිදුකරගෙන යන බව මහලේකම්වරයා තවදුරටත් අවධාරණය කර ඇත. සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මෙම විරෝධතා අරගලය සිදුකෙරෙමින් පවතී. එය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය දිනාගන්නා තත්ත්වයටම ජයග්‍රහණයට පත්ව ඇත.
කෙසේ හෝ මෙම වටපිටාවේදී හෙළිවන තවත් සුවිශේෂ කරුණක් ලෙසින් වාර්තා වන්නේ ඉහත නියෝග කඩකරන ලද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව ජාතික ජන බලවේගය (ජනතා විමුක්ති පෙරමුණ) ද නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබීමය. ඒ අනුව එම පක්ෂය විසින්ද ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකිරීමට තීරණය කර ඇත. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ උපදෙස් සහ මැදිහත් වීම හරහා මෙය සිදුකෙරෙයි.මේ අනුව එකම සිදුවීමක් හේතු කරගනිමින් විපක්ෂයේ විරුද්ධ පක්ෂ දෙකක් එකට එක්ව නඩු මඟට පිවිසීම සුවිශේෂ සිදුවීමක් ලෙසටද දේශපාලන ඉතිහාසයට එක්විය.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය දිගින් දිගටම රුපියල් මිලියන 100ක මුල් වාරිකය හෝ නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ මන්දැයි තමන්ට තේරුම්ගත නොහැකි බවය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් අයුරින් මුදල් ලබාදෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍ය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තමා විසින්ද ලිපියක් යවා ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් මෙතෙක් ඒ සඳහා ධනාත්මක පිළිතුරක් ලැබී නැතැයිද ඔහු වැඩිදුටත් අවධාරණය කර ඇත. එසේම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අපේක්ෂාව මැතිවරණ කොමිෂන් සභාව අත්නොහරින බවද සභාපති නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පසුගියදා සුවිශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍ය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවෙමින් ඇති බවය. අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගසන්නට විධායකයට ඉඩ නොදිය හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත. එසේම අධිකරණය විසින් ලබාදී ඇති ඇතැම් නියෝගවලට අවනත නොවී විනිශ්චයකරුවන් පීඩාවට පත්කිරීමට විධායකය මේ වන විට උත්සාහ කරමින් සිටින බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කර ඇත. ඒ අනුව නීතිඥ වෘත්තිකයන් ලෙස ඊට එරෙහිව වහා කටයුතු කළ යුතු බවත්, අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් ඇඟිලි ගැසීමට ඉඩ ලබා නොදිය යුතු බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා දැඩි සේ අවධාරණය කර ඇත. විධායකය අධිකරණයේ තීන්දුවලට අවනත නොවීම යනුවෙන් මෙහිදී ඔහු ප්‍රධාන වශයෙන් අර්ථ ගන්වන්නේ වතමන් මැතිවරණ කටයුතුවලට අදාළ විවිධ හේතු සාධක බව පැහැදිලිය. ඔහුගේ මෙම ප්‍රකාශය ඉතා බැරෑරුම් වටපිටාවක් උද්ගත වීම පැහැදිලිවම පෙන්නුම් කරයි. මෙහිදී විධායකය යනුවෙන් එක එල්ලේම අර්ථවත් වන්නේ රටේ ප්‍රධාන රාජ්‍ය නායක තනතුර නොහොත් ජනාධිපති ධුරයයි.
මෙවැනි වටපිටාවක් තිබියදී තවත් සුවිශේෂ පුවතක්ද වාර්තා විය. එනම් අයි.එම්.එෆ්. සංවිධානයද නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම සංවිධානය කිසි විටෙකවත් මෙරට මැතිවරණයන් කල්දැමීමට නිර්දේශ නොකළ බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහීරෝ නොසාකි (Masahiro Nozaki) ප්‍රකාශ කර තිබුණේ මෙරට පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට තම සංවිධානය මැදිහත් නොවන බවයි.
මේ කතාව ඔබට ලියාගෙන යද්දී මෙහි හැරවුම් ලක්ෂ්‍යය ආරංචි වන්නට ගත්තේය. එනම් මේ දින කිහිපය ගෙවී යද්දී දැනට මොහොතකට පෙර දැනගන්නට ලැබුණේ සමගි ජන බලවේගය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ බවය. ගරු අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි තීන්දු කොට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම නව පෙත්සම ගොනුකර ඇත්තf් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසිනි.
හොඳ හොඳ අඩව් සහ කස්තිරම් අල්ලන්නේ එළිවෙන ජාමෙට යැයි කිව්වා සේ ඉහත පුවත අරංචි වී තව සුළු මොහොතකට පසුව තවත් අපූරු කතාවක්ද ආරංචි විය. එනම් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ජාතික ජන බලවේගයද ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකළ බවය. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම ගොනුකර ඇත්තේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසිනි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගයට අනුකූලව කටයුතු කරන ලෙසට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. තත්ත්වය කෙසේ වුවත් එක්තරා අදෘශ්‍යමාන බහිරවයකු මෙම සියල්ල කඩාකප්පල් කරමින් සිටියි. සත්‍යය එයයි.
ප්‍රියන්ත හෙට්ටිගේ