මේ දිනවල මහබැංකුව ස්වාධීන කිරීම සම්බන්ධයෙන් සහ රුපියල ඉහළ නැගීම සම්බන්ධයෙන් විශාල කතාබහක් සමාජයේ නිර්මාණය වී තිබේ. මහබැංකුවේ හිපටු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා මහබැංකුවට චෝදනා කිහිපයක්ම මාධ්‍ය හරහා ඉදිරිපත් කරමින් කියා තිබුණේ ඉදිරියේ රුපියල නැවතත් පහත වැටී, ඩොලරය ඉහළ යෑමේ ප්‍රවණතාවක් මතුවිය හැකි බවකි. එමෙන්ම මහබැංකුව ස්වාධීන වීමේ අවශ්‍යතාවද හෙතෙම මතුකොට තිබේ. ඊට පසුගිය සතියේදී මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද පිළිතුරු ලබාදීමට පියවර ගෙන තිබිණි. පහත පළවන්නේ විජේවර්ධන මහතා මතුකළ ප්‍රශ්නත්, ඊට නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතිචාර දැක්වූ ආකාරයත්ය.
මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා පළ කළ අදහස් :
‘රටක ව්‍යවහාර මුදල් ශක්තිමත් වන්නේ ඒ රටේ ආර්ථිකය ශක්තිමත්වීම, ඒ රට ඩොලර් ලැබෙන ස්ථාවර මාර්ගයකට අවතීර්ණ වීම, ඒ රටෙන් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩුවීම යන හේතු මතය. එහෙත් ඒ හේතු හා කරුණු තුනෙන් එකක්වත් ලංකාව සතුව දැනටත් නොපවතියි. ලංකාවේ ආර්ථික වර්ධනය ඍණය. 2022 දී සියයට 9 කින් ආර්ථිකය හැකිළිණි. 2023 දී සියයට 5කින් සංකෝචනය වන බවට ඇස්තමේන්තු කර තිබේ.
2024 හා 2025 දී ආර්ථිකය වර්ධනය වන බව මහබැංකුව කිව්වාට ස්වාධීන විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ ආර්ථිකය නැවත වරක් සංකෝචනය වන බවය. ආර්ථිකය එසේ හැකිළෙන රටක ශක්තිමත් විනිමය අනුපාතිකයක් පැවතිය නොහැකිය. දෙවැනි කාරණය තවමත් රට ඇතුළට එන ඩොලර් ප්‍රමාණයට වඩා රටින් පිටව යන ඩොලර් ප්‍රමාණය වැඩිය. ඒ නිසා විදේශ විනිමය අපට තවමත් ප්රශ්නයකි. ඒ කරුණු මත ඉහත කී ආයතනවල පුරෝකථන සත්‍ය වීමට තිබෙන ඉඩකඩ ඉහළය. ඒ ආයතන මීට පෙර කළ පුරෝකථනද නිවැරැදි විය. ලංකා ආණ්ඩුව තම ණය ගෙවීම පැහැරහරින බවට ඔවුහු පුරෝකථනය කළහ. 2022 අප්‍රේල් මාසයේදී ඒ පුරෝකථනය සත්‍ය විය. එසේම ලංකාවට ලැබෙන විදේශ විනිමය පහළ වැටෙන බවට කළ පුරෝකථනයද සත්‍යය විය. ඒ ජාත්‍යන්තර ආයතන කරන පුරෝකථන බොහෝ දුරට සත්‍ය වෙයි. ඔවුන් කරන්නේ කාගේවත් බලපෑමකින් තොරව ස්වාධීන පුරෝකථනය. ඒ නිසා මේ 2023 අවුරුද්ද අග වනවිට ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 390ක් දක්වා ඉහළ යන බවට ඔවුන් කරන පුරෝකථනයද සත්‍ය වනු නිසැකය.
ශ්‍රී ලංකා මහබැංකුවේ පුරෝකථන අසත්‍ය වී ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්ගේ පුරෝකථන සත්‍ය වන්නේ ඇයිදැයි ප්රශ්නයකි. මහබැංකුවක් නිතරම උත්සාහ කරන්නේ තත්ත්වය ඉතා ඉක්මනින් යහපත් වෙනවා කියන්නටය. කොරෝනා වසංගතයට රට ගොදුරු වනවිට රටේ ඇතිවූයේ විශාල ආර්ථික ප්රපාතයකි. ඒ අවස්ථාවේදී මහබැංකුව ප්‍රකාශ කළේ ඉතාමත් ක්ෂණිකව ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත්වන බවය. මහ බැංකුව කියා සිටියේ ඉංග්‍රීසි V අකුරක හැඩයෙන් ආර්ථිකය යළි නැගිටින බවය. එහෙත් ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයන් ප්‍රකාශ කළේ ආර්ථිකය යළි නැගිටින්නේ ඉංග්‍රීසි W අකුරක හැඩයෙන් හෝ ඉතා පළල් U අකුරක ස්වරූපයෙන් බවය. ඇත්තටම සත්‍ය වූයේ ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයන් කියන දේවල්ය. කොරෝනා වසංගතයට රට ගොදුරු වූයේ 2020 මාර්තු මාසයේදීය. දැන් අප සිටින්නේ 2023 මාර්තු මාසයේය.
අවුරුදු තුනක් ගතවෙලත් 2019 පැවැති තත්ත්වයට ගොඩනැගෙන්නට ආර්ථිකයට නොහැකිවී තිබේ. ඉන් අනාවරණ වන්නේ ස්වාධීන විශ්ලේෂණ සත්‍ය වී මහබැංකු විශ්ලේෂණ සහ පුරෝකථන සත්‍ය නොවන බවය. එය එසේ වන්නේ රටේ ජනතාව අතර විශ්වාසය ජනිත කිරීම සඳහා මහබැංකුව නිතර උත්සාහ කරන නිසාය. ඒ සම්බන්ධයෙන් මහබැංකුවට දොස් කිව නොහැකිය. සත්‍යය කුමක්දැයි කිරා මැන බලා අවබෝධ කරගැනීම ජනතාවගේ වගකීමකි.
මහබැංකුව නිතරම කටයුතු කරන්නේ රටේ පවතින ආණ්ඩුවට අනර්ථයක් නොවන අයුරිනි. බොහෝ විට රජයට පක්ෂපාතීව කරුණු ඉදිරිපත් කෙරෙන්නේ එබැවිනි. දැනටත් එසේ වෙනවා විය හැකිය. මහබැංකුව ස්වාධීන කිරීම සඳහා දැන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ එහෙයිනි.
පවතින ආණ්ඩුවේ හොරණෑවක් වීමෙන් වැළකී ස්වාධීනව තමන්ගේ පුරෝකථන හා විශ්ලේෂණ කිරීමට නම් මහබැංකුව ස්වාධීන ආයතනයක් විය යුතුමය. එහෙත් යෝජිත පනත් කෙටුම්පත සකසා තිබෙන ආකාරයෙන්ම සම්මත වුවහොත් මහබැංකුව ස්වාධීන නොවෙයි. ඒ කෙටුම්පත එලෙසම සම්මත වුණොත් මහබැංකුවට දැනට තිබෙන සාපේක්ෂ ස්වාධීනතාවයත් නැති වී එය මුදල් අමාත්‍යවරයාගේ රූකඩයක් බවට පත්වෙයි.
වාණිජ බැංකු මිලදී ගන්නා විදේශ විනිමයෙන් සියයට 25ක් මහබැංකුවට විකිණිය යුතු බවට මහබැංකුව ගෙන තිබූ තීරණය වෙනස් නොකර පවත්වාගෙන ගියා නම් ඩොලරයේ වටිනාකම පහළ නොයයි. ඒ සියයට 25 සීමාව සියයට 15 දක්වා අඩු කිරීමට තරම් සාධාරණ හේතුවක් මහබැංකුවට නොතිබිණි. රටේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය තවමත් තිබෙන්නේ ඉතාමත් අඩු මට්ටමකය. ඛනිජ තෙල්, ඖෂධ, ගල් අඟුරු, එල්.පී. ගෑස් යනාදිය මිලදී ගැනීමට මහබැංකුව දැනටත් රජයට විදේශ විනිමය සැපයිය යුතුය.
ඊට අමතරව රජයේ ණය ආපසු ගෙවීමටත් විදේශ විනිමය සැපයිය යුතුය. එසේ සැපයීමට තරම් විදේශ විනිමය මහබැංකුව සතුව නොපවතියි. ඒ නිසා ඉහත කී සියයට 25 සිට සියයට 15 දක්වා අඩු කිරීමේ තීන්දුව සාධාරණය කළ හැකි කිසිම හේතුවක් මේ ආර්ථිකයෙහි නොපවතියි. ඩොලරයේ වටිනාකම අඩු වී රුපියලේ වටිනාකම ඉහළ යාම කෘත්‍රිම දෙයක් ලෙස හඳුන්වන්නේ එහෙයිනි.
මහබැංකුවේ සංචිත ඩොලර් බිලියන තුනක් දක්වා ඉහළ නැග ඇතැයි කියන කතාව අසත්‍යයකි. ඇත්තටම තිබෙන්නේ බිලියන 2.2ක් තරම් ප්රමාණයකි. ඉන් බිලියන 1.5ක්ම මුදල් හුවමාරු ක්‍රමය යටතේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10කි. ඒ යුවාන් පාවිච්චි කළ හැක්කේ චීනයෙන් බඩු මිලදී ගැනීමට පමණකි. අනෙක් අතට ඒ යුවාන් පාවිච්චි කළ හැක්කේ ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මාස තුනක ආනයන සඳහා ප්‍රමාණවත් වූ පසුවය. එය චීන කොන්දේසියකි. ඒ නිසා ඒ යුවාන් සංචිතවලට එකතු කිරීම නුසුදුසුය. එහෙත් මහබැංකුව කියන බිලියන 2.2ට ඒ යුවාන් ද එකතු කර තිබේ.
ඒ චීන යුවාන් බිලියන 10 අඩුකළ විට මහබැංකුව සතුව තිබෙන සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 700ක් වෙයි. ඒ මිලියන 700 ඇතුළෙහිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත තිබේ. ඒවා අපට පාවිච්චි කළ නොහැකිය. එසේම රත්තරන් සංචිත ද පාවිච්චි කළ නොහැකිය. ඒ අනුව අපට පාවිච්චි කළ හැකි සැබෑ සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක් පමණ වෙයි. චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 සංචිතවලට ඇතුළත් කිරීම රටේ ජනතාව නොමඟයැවීමකි. එහෙයින් ඒ වරද නිවැරැදි කළ යුතුය.
දැන් ලංකාව තමන් ගත් විදේශ ණය වාරික හෝ පොලිය නොගෙවයි. ණය වාරික හා පොලිය ගෙවීම යළි ආරම්භ කළදාක ලංකාව යළිත් අමාරුවේ වැටෙයි. දැඩි සීමාකිරීම්වලට යන්නට යළිත් සිදුවෙයි. සලාක ක්‍රමය යටතේ ඉන්ධන සැපයීමට සිදුවෙයි. රටින් භාණ්ඩ ආනයනය කිරීම තවත් සීමා කිරීමට සිදුවෙයි. සලාක හා පාලන ක්‍රම යළි පනවන්නට සිදුවෙයි. සියල්ලෙන් පෙනී යන්නේ අනාගතය ඉතා අඳුරුසහගත බවය. නැවතත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවීමේ සම්භාවිතාව ඉහළය.’
මහබැංකු අධිපතිවරයා ඊට ලබාදුන් පිළිතුර:
‘සමහරු කියනවා මේක ලංකාවේ හැටි කියලා. ඒක නිසා මේක කරන්න බෑ කියනවනේ. එතකොට ලංකාවේ හැටි එහෙම නම් අපට ඒක වෙනස් කරන්න නෙවෙයි ද අවශ්‍ය වෙන්නේ? ඒ කියන්නේ හැටි එහෙම නම්, ඒ හැටි එහෙම තියාගෙන යන එක නෙවෙයි කරන්න ඕනෙ, ඒක සිස්ටම් චේන්ජ් එකක් කරලා වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කිරීමේ එක පියවරක් තමයි ඔබතුමා තර්ක කරන්නේ පරණ එක හොඳ නම් පරණ එකේ තිබුණු ප්‍රශ්න ටික මම පෙන්නුවනේ. ඒත් එක්කම යන්න පුළුවන්. පරණ එකේ වෙච්ච ප්‍රශ්න ටික වැළැක්වීමට තමයි මේක කරලා තියෙන්නේ. ඒක තමයි මේකෙ අරමුණ. ඕනෙ කෙනකුට මේක ස්ටඩි කරන්න පුළුවන්. 2019 ඉඳලා බිල්ලෙක් විදියට පබ්ලිෂ් කරලා තිබුණු එකක්. ඕනෙ කෙනෙක්ට අදහස් දක්වන්න අවුරුදු 3ක් විතර අවස්ථාව තිබුණා. දැනටත් තියෙනවා. දැනට සුප්‍රීම් කෝට් එකේ චැලෙන්ජ් කරලා තියෙනවා ඔබතුමා කියපු සමහර කරුණු අනුව. ඔබතුමා කියපු කාරණය එකක් හරි. විජේවර්ධන මහත්තයා ඩේලි එෆ්.ටී. එකේ ආටිකල් එකක් කරලා තිබුණා මේකෙ තියෙන අඩුපාඩු ගැන සඳහන් කරලා. ඒක අපිත් පිළිගන්නවා මේක පරිපූර්ණ දෙයක් නෙවෙයි. මහබැංකුවේ නීතිය මහබැංකුව විසින්ම නෙවෙයි නේ හදන්න ඕනේ. යම්කිසි ස්වාධීන විදියකට ඒක හදන්න ඕනෙ. නීතිපතිතුමා, ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට කතා කරලා, එක්ස්පර්ට්ස්ලා ගෙනැල්ලා එහෙම තමයි නීති හදලා තියෙන්නේ. එහෙම හදලා පාර්ලිමේන්තුවට එනකොට ඒකෙ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපිත් දකිනවා සුළු සුළු කොටස් තියෙනවා වෙනස් වෙන්න. විජේවර්ධන මහත්තයා කියලා තිබුණෙත් ඒක තමයි ඩේලි එෆ්.ටී. ඉංග්‍රීසි ලිපියේ. විජේවර්ධන මහත්තයා කියලා තිබුණා මහබැංකුව රජයේ හොරණෑවක් විදියහට ඉතිහාසයේ කටයුතු කළා කියලා. එතුමා හරි වෙන්න ඇති. මොකද එතුමා අවුරුදු 35ක් විතර හිටපු නිසා එතුමාත් මේක දන්නවනේ හොඳටම. එතුමා ඉන්න කාලෙත් මේක වෙන්න ඇතිනේ හොඳටම. ඉතින් අපි මේක වෙනස් කරන්න තමයි උත්සාහ කරන්නේ.
එතුමා තව කියලා තිබුණා, එතුමා ඉන්න කාලේ මේක හොරණෑවක් විදියටයි වැඩකටයුතු කළේ, විනිමය අනුපාතිකය කියන එක 390ට යයි කියලා. මම දන්නෙ නෑ එතුමා ඒක කිව්වේ කොහොමද කියලා. ෆිච් සොලූෂන් කියලා ආයතනයක වැරැදි කරුණු වගයක් විශ්වාස කරලා එතුමා කියනවා ඒක එහෙමයි වෙන්නේ කියලා. මම දන්න විදියට මේ තියෙන විනිමය අනුපාත ක්‍රමය තුළ මහබැංකුව ගැන දන්න මනුස්සයෙකුට විනිමය අනුපාතය මෙතැනයි කියලා හෙට තියෙන තැන, අනිද්දා තියෙන තැන කෙටිකාලීනව කියන්න පුළුවන්, නමුත් දීර්ඝකාලීනව කියන්න බෑ. කියනවා නම් ඒක සම්පූර්ණ වැරැදි ප්‍රකාශයක්. මම කියනවා ඒක වගකිව යුතු ප්‍රකාශයක් නෙවෙයි කියලා.
හොරණෑවක් කියලා කියපු එක හරි වෙන්න ඇති. ඒ කාලේ එහෙමයි වෙන්න ඇත්තේ. ඒ අනුව තමයි ඕකත් කියලා තියෙන්නේ. ඒ ගැන මට කියන්න තියෙන්නේ ෆිච් සොලූෂන්ස් ආයතනයේ කියලා තියෙන්නේ 390ක් වෙනවා කියලා. ඉදිරියේදී බිලියන 6 ගානේ විදේශ ණය ගෙවන්න තියෙන නිසා. ෆිච් රේටින්ග්ස් නෙවෙයි, ෆිච් රේටින්ග්ස් මේකට සම්බන්ධ නෑ. ඇඩ්වයිසරි සර්විස් කරන වෙන කම්පැනි එකක්. ඒකෙන් තමයි ඕක නිකුත් කරලා තියෙන්නේ. ඒකෙන් උපකල්පනය කරලා තියෙන්නේ බිලියන 6 ගානේ ණය ගෙවන්න තියෙනවා නම් මේකත් 390 වෙන්න පුළුවන් කියලා. ඒක වෙන්න පුළුවන්. 390 නෙවෙයි 450, 500, 1000ත් වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිව්‍යුහගත කරන්නේ බිලියන 6 ගානේ ණය ගෙවන්න බැරි නිසා. ඒක අඩු කරගන්න තමයි ෆයිනෑන්ෂල් ඇෂුවරන්ස් අරගෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ. එතකොට ඒක පැත්තකින් තියලා මෙහෙම ණය ගෙවන්න තියෙන නිසා මෙහෙම වෙනවා කියලා අපේ හිටපු නියෝජ්‍ය අධිපතිතුමෙක් මෙහෙම කියනවා නම් ඒක කනගාටුවට කාරණයක්.
එතුමා ඉංග්‍රීසි ලිපියේ කියපු අඩුපාඩු ටික අපිත් පිළිගන්නවා. ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කරන්න යම් යම් වෙනස්කම් කරන්න වෙනවා. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව තුළින් මේ වගේ සංවාද තියන්නත්. ඇත්තටම අපි මේක කරනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කතානායකතුමා ආරාධනා කළා. ඒ අයත් මේකට අන්තර්ජාලය ඔස්සේ සහභාගි වෙලා ඉන්නවා. ඒ දැනුවත් කිරීම තමයි මේකෙන් කරන්නේ. ඒ අයට වගේම ඔබතුමාටත් යම්කිසි අවබෝධයක් ඇතිවුණා කියලා මම බලාපොරොත්තු වෙනවා….’
චානක ලියනගේ






