හැටනව ලක්ෂය බලාපොරොත්තු වූ ඉලක්කයට රට ගෙන යෑමට තවදුරටත් ඇප කැප වන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (25) ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියරේ නව ජල සබඳතා ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ වැඩ කරන මිනිස්සු ඉන්න දේශපාලන පක්ෂයක්. තමන්ගේ ගම දිහා බලන්න. ගමේ පාරක් හැදුවා නම්, පානීය ජල ප්‍රශ්නවලට විසඳුම් දුන්නා නම්, ගමට වැඩක් කළා නම්, ඒ පොහොට්ටුව විතරයි. අපේ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගමේ ජනතාව වෙනුවෙන් වැඩ කළ අය. අද කයිය ගහන අය ගැන හොයලා බලන්න. ඒ අය ගමට මොනවද කර තියෙන්නේ? ඒ වගේම අපි මීනි මරලා නැති පක්ෂයක්. ඔබට මතක ඇති 71, 88, 89. ඒ වගේම 83 කළු ජූලිය. ඒ කාලයේ ආණ්ඩුවත් අරගලකරුවෝත් මිනී මරා ගත්තා. අපි කවදාවත් එහෙම කර නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් තිබ්බා අරගලයට වෙඩි තියන්න. නමුත් එහෙම කළේ නෑ. ඒකයි මම කිව්වේ අපේ පක්ෂය මිනී මරලා නෑ කියලා.
පසුගිය සමයේ රට තුළ ඇති වූ අරගලයට ගිය අය මෙතනත් ඇති. ඒ මිනිස්සු ඒකට ගියේ ආර්ථික අපහසුතාව නිසා. අපි ඒකට දොස් කියන්නේ නෑ. අපටත් ඒ අපහසුතාව තිබුණා. සාමකාමී විදිහට අරගල කර ඒ මිනිස්සු ආවේ ආණ්ඩු පෙරළන්න නෙමෙයි. ඔවුන් ඉල්ලුවේ තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කියලා. මේ ආර්ථික අර්බුදය වසරකික් දෙකකින් වූ දෙයක් නෙමෙයි.”
උපාලි කරුණාරත්න





