සමඟි ජන බලවේගය ආණ්ඩුව කරන සාධනීය පියවරට කුහකකමින් තොරව ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණෙන් අත ඔසවා සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සජබ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“සමඟි ජන බලවේගය කියන්නේ වෛරය නිසා බලය ගන්න හදන පක්ෂයක් නෙමෙයි. වෛරය හරහා තමන්ගේ බලය ගොඩනඟන දේශපාලන පක්ෂ තියෙනවා. නමුත් සමඟි ජන බලවේගය ජනතාවගේ වෛරය සංසිඳුවා ඒ අයට පහසුවෙන් ජීවත් වීමේ රටක් නිර්මාණය කර දෙන්න උත්සාහ කරනවා. 21 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ අනුමත කළේ නැත්තම් IMF ණය ගන්න ලැබෙන්නේ නෑ. 21 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම දැන් අත්පුඩි ගහන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය නොදී හිටියා. ඒත් සජිත් ප්‍රේමදාස මහතා අපට කිව්වා, 21 වන සංශෝධනයට සහාය වෙන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එය හොඳ දෙයක් කියලා.IMF ණය ලැබුණා කියලා අපට උදම් අනන්න බෑ. මීට පෙර රට පාලනය කළ අයත් IMF ණය කිහිප වතාවක් ගත්තා. ඒත් ඇයි එදා අපට රට ගොඩ නඟන්න බැරි වුණේ. අපි හිතනවා, මේ රටේ වැරදි කළමනාකරණය නිසා කියලා. මේ රටේ වංචාව සහ දූෂණය නිසා රට ගොඩනඟන්න බෑ. වර්තමාන ජනාධිපතිතුමාට අපි සද්භාවයෙන් කියනවා, ඔබතුමා IMF ණය ගත්තා. ඒ ගැන සතුටුයි. හැබැයි මේ හොර නඩයක් එක්ක ඔබතුමා ඔවුන් සතුටු කිරීමේ අරමුණෙන් IMF මුදල් යොදවනවා නම් එයින් අපේ ප්‍රශ්න විසඳ ගන්න ලැබෙන්නේ නෑ.”
රක්ෂණ ශ්‍රියන්ත