ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ ම ජනතාව මර්දනය කරන නව පනතක් ගෙන ඒමට රජය සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ‘ඉරිදා මව්බිම’ට පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව කියා ඊට මුවා වී නව මර්දනකාරී පනතක් ඒ වෙනුවට ගෙනෙන්නට ආණ්ඩුව තුරුම්පුවක් ද යොදා ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
කෙසේ නමුත් මෙම නව පනතද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේම විස නොනැසූ පනතක් බව ද ඔහු කීය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු පනතක්. එය විශාල මර්දනකාරී පනතක්. පහුගිය කාලේ ශිෂ්‍ය නායකයන් රඳවා ගන්නත්, මාධ්‍යවේදීන් දඩයම් කරන්නත් ඒ වගේ ම, ජනතාව මත මර්දනය ක්‍රියාත්මක කරන්නත් මෙම පනත උපයෝගී කරගත්තා. ඒ නිසා මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් තියෙනවා. දැන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියා ඊට මුවාවී ඉදිරිපත් කරන්න සූදානම් වන ඒ පනතේ නම මාරු වුණාට විස නැසී නෑ.
එම පනතේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා තිබෙනවා. ජනතාව විසින් කරන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පවා ත්‍රස්ත ක්‍රියා හැටියට හැඳින්වීමට ඉන් පුළුවන්. එම පනත අනුව සිදුවන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ගොවි ජනතාව තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කරන සටන්, ‘ත්‍රස්තවාදය’ කියලා ලේබල් කරලා ඒවා මර්දනය කරන්න ආණ්ඩුවට පුළුවන්. සරලව ආණ්ඩුව ත්‍රස්තවාදී මර්දන පනත අහෝසි කරනවා කියා ඊට මුවා වී නව මර්දන පනතක් ගේන්න සූදානම් කර තිබෙනවා. ඒ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින් ම අහෝසි කළ යුතුයි. නව මර්දනීය පනතක් ද නොගෙන ආ යුතුයි. මේ උත්සහ කරන්නේ ත්‍රස්තවාදී පනත අහෝසි කරනවා කියලා ඊට මුවා වී නව පනතක් ගෙන ඒම,” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.






