ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලංකාවට ලැබුණු දිනම සවස් වරුවේ ආණ්ඩුව පාර්ශ්වයෙන් තවත් විශේෂ නිවේදනයක් නිකුත් විය. ඉන් පෙන්වා දී තිබුණේ රාජ්‍ය ආයතන හතක් සතු ආණ්ඩුවේ කොටස් ප්‍රමාණය විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවකි. එම ආයතන හත වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ලිට්රෝ ගෑස්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලන්කන් කේටරින්, ලංකා හොස්පිට්ල්ස්, හිල්ටන් හෝටලය, ග්‍රෑන්ඩ් හයට් හෝටලය හා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන ආයතනයන්ය. කෙසේ වෙතත් මෙහිදී දක්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව විශාල ලාභ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිට්ල් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනද මෙසේ ඈවර කිරීමට තීරණය කිරීමය.
කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම් වන්නේ කවුරුත් මෙතෙක් නොදැන සිටි අතිවිශේෂ රහසකි. ඒ, ලංකා හොස්පිට්ල්ස් ආයතනය විකුණා දැමීමට පදනම වැටුණු ආකාරය පිළිබඳවය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම ආයතනය නිල වශයෙන් විකුණා දමන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් නිවේදනය නිකුත් කළද ඊට අවශ්‍ය වටපිටාව සහ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ අදක ඊයේක නම් නොවේ. එම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ මීට මාස හයකට ප්‍රථම, එනම් ඉකුත් වසරේ සැප්තැම්බරයේ ලන්ඩන් නුවරදීය. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප හෙළිකිරීමට සූදානම් වන්නේ ලන්ඩන් නුවර මෙම සාකච්ඡා ආරම්භ වූ ආකාරයත්, ඊට සහභාගි වී සිටි අය කවුරුන්ද යන්න පිළිබඳවත්, ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීමට සුදානම් වන්නේ කවුරුන්ද යන්නත් පිළිබඳවය.
අපට ඇති තොරතුරුවලට අනුව ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීමට සූදානම් වන්නේ වෙන කවුරුවත් නොව ලාංකීය සම්භවයක් සහිත ආන්දෝලනාත්මක ද්‍රවිඩ ව්‍යාපාරිකයකු වූ සුභාෂ්කරන් අලිරාජාය. එසේ නැතහොත් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ප්‍රබල ව්‍යාපාරිකයකු වූ ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරුවාය.
මේ සුභාෂ්කරන් අලිරාජා යනු ලංකාවට අලුත් නමක් නොවේ. ඔහු ලංකාවේ ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිනී නාලිකාව මිලදී ගැනීමත් සමගය. මෙම ගනුදෙනුව කෙතරම් ආන්දෝලනාත්මක වූවාද කියනවා නම් අදටත් ඒ සම්බන්ධයෙන් ඇත්තේ විශාල අබිරහසකි. ඒ අනුව මෙම චෝදනා නිසාම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි සැණින් ඒ පිළිබඳ සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කළේය. එම කමිටුවද අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාව ජනාධිපතිවරයාට ලබාදුන්නේය. දැනගන්නට ඇති ආකාරයට එම වාර්තාව මගින් මෙම ගනුදෙනුව සිදුකිරීමේදී බරපතළ වංචා දූෂණ සහ කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බව අනාවරණ කොට ඇති බව ආරංචිය. ඉන් අනතුරුව එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට පියවර ගැනිණ. පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එය මහබැංකුව වෙත යොමුකර ඇත්තේ මහබැංකුවේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවට වූ නිගමන මුල් කරගෙනය. නමුත් අදටත් ඒ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් දැකගන්නට නැත. වත්මන් ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා පාටක්ද පෙනෙන්නට නැත. කෙසේ වෙතත් ඉදිරියේදී අප මෙම ස්වර්ණවාහිනී ගනුදෙනුවේ අලගිය මුලගිය තැන් සහිතව ආන්දෝලනාත්මක ලිපියක් පළකිරීමට සූදානමින් සිටින බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
මෙවර අප හෙළිදරව් කරන්නේ මේ කියන අලිරාජාම ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීම සඳහා ලන්ඩනයේ පැවැත්වූ රහස් සාකච්ඡාව පිළිබඳවය. ඊට ලංකාව පාර්ශ්වයෙන් සහභාගි වී සිටියේ එක්තරා ප්‍රබල චරිතයක් සහ සුපිරි කාන්තාවකි. මෙම ප්‍රබල චරිතය අදටත් ආණ්ඩුවේ ඉහළ තැනක උපදේශක තනතුරක් දරන වී.වී.අයි.පී. පන්නයේ පුද්ගලයෙකි. සුපිරි කාන්තාවද ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් සමග සබඳකම් පවත්වන ප්‍රසිද්ධ කාන්තාවකි. ඇය බිලියන ගණන් හුවමාරු වන ගනුදෙනුවල අතරමැදි චරිතය රඟපාන චරිතයක් ලෙසද ප්රකටය. ක්ෂේත්රයේ බොහෝ දෙනා දැන සිටින කරුණක් වන්නේ මෙම දෙදෙනා ‘ලිවින් ටුගෙදර්’ නැතහොත් විවාහ නොවී එක ගෙදරක ජීවත් වන බවය.
ඒ අනුව මේ දෙදෙනා පසුගිය සැප්තැම්බර් මාසයේ ලන්ඩනය බලා පිටත්ව ගියේ ලංකා හොස්පිට්ල් සම්බන්ධ ගනුදෙනුව අලිරාජා මුණගැසී සාකච්ඡා කිරීමටය. එම හමුව සංවිධාන කර තිබුණේද මෙම කාන්තාව විසින්මය. ඒ, අලිරාජා සහ ඇය අතර පැවැති සමීප සබඳකම් මුල්කොට ගෙනය. ඒ අනුව ඇය ලන්ඩනයට පැමිණීමෙන් අනතුරුව පළමුවෙන්ම මෙම ප්‍රබල උපදේශකයාව අලිරාජාට මුණගැස්වීමට සැලැස්සුවාය. ලන්ඩනයේ සිටි කාලය අතරතුරදී මේ දෙදෙනා නවාතැන් ගත්තේ අතිසුඛෝපභෝගී හෝටල්වල වී.වී.අයි.පී. කාමරවලය. ගමන් බිමන් ගියේ අතිසුඛෝපභෝගී රෝල්ස් රොයිස් කාර්වලය.
ආණ්ඩුව ලංකා හොස්පිට්ල් ආයතනය විකිණීමට සැලසුම් කර ඇති බව පළමු වරට එළියට එන්නේ අලිරාජා සමග පැවැති මෙම සාකච්ඡාවේදීය. ඊට අලිරාජාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබීමෙන් පසු එම ගනුදෙනුව සිදුකරන ආකාරය පිළිබඳවද, ඊට පසුබිම සකස් කරන ආකාරය පිළිබඳවද එහිදී විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති බවද දැනගන්නට ඇත. එමෙන්ම ඒ දිනවලම ලංකාවේ ඉහළ පෙළේ දූත පිරිසක් ලන්ඩනයේ සංචාරයක නිරතව සිටි අතර, ඔවුන් සමග සුපිරි හමුවක් සංවිධාන කිරීමටද මේ දෙදෙනා පියවර ගෙන ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ඒ අනුව බොහෝ දෙනා ප්‍රශ්න කර සිටින්නේ පසුගිය සැප්තැම්බරයේ ලන්ඩනයේදී අලිරාජා සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලංකා හොස්පිට්ල් ආයතනය විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරනවාදැයි කියාය. මෙහි කොටස් කොළඹ කොටස් වෙළෙඳපළට යොමු කිරීමෙන් අනතුරුව ඒවා මිලදී ගැනීමට සූදානමින් සිටින්නේ අලිරාජාදැයි කියාය. දැනට අලිරාජාගේ ව්‍යාපාරික ක්ෂේත්රය වන සන්නිවේදන ක්ෂේත්රයට අමතරව රෝහල් ක්ෂේත්රයටත් මේ හරහා අලිරාජා යොමුවීමට සූදානමින් සිටිනවාදැයි කියාය.
මෙම ලන්ඩන් සාකච්ඡාවේ තවත් අතිවිශේෂ තොරතුරු සහ ඡායාරූප රැසක් අප සතුව පවතින අතර යම් හෙයකින් ඉදිරියේදී ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් ආයතනවල ගනුදෙනු සිදුවීමේදී අලිරාජාගේ නමද කරළියට පැමිණියහොත් ඒ සියල්ල අප හෙළිකිරීමට සැලසුම් කර ඇත්තේ අප අද හෙළිකරන මෙම කතාව තහවුරු කිරීම සඳහාය.