මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පාසල් ක්ෂේත්රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුන හොත් පාසල් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ අද (23) පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිළයේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්රදානය කිරීම සිදු කරන ලදී.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වැඩ බලන අධ්‍යාපන ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂාරි ද සිල්වා යන මහත්ම මහත්මීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.
2023 වසරට අදාළ පාසැල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින් පුරා බෙදා දී අවසන්ය. දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබයි. ඉන්දියානු ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා දේශීය සැපයුම්කරුවන් මඟින් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර එය නිල වශයෙන් බෙදා දීම ද මෙහිදී සිදු කෙරිණ.
රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් සහ පෙළ පොත් ප්රදානය කෙරේ.
වැඩිදුරටත් උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
අද අපි පාසල් පෙළ පොත් බෙදාදීමේ සහ නිල ඇඳුම් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කළා. පසුගිය වසරේ රටේ තිබූ ආර්ථික කඩාවැටීම සමඟ අද මෙම උත්සවය පැවැත්වීට ලැබීම පුදුමයට කරුණක් බව කිව යුතුයි.
මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා මම ජනාධිපති ධූරයේ වගකීම භාරගන්නා විට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම භාරගත්තා. නොවැම්බර් මාසය වන විට මේ වසරේ අය වැයෙන් මුදල් ලබා දෙනවා නම් මෙම වැඩකටයුතු ආරම්භ කරන්න සූදානමින් සිටින බවට අධ්‍යාපන අමාත්‍යතුමා මාව දැනුවත් කළා. අපි ඊට අවශ්‍ය මුදල් ලබා දුන්නා.
ඒ අනුව එතුමා මේ වැඩකටයුතු ආරම්භ කළා. ඒ නිසා පළමුව මම ඇමතිතුමාටත් එම නිලධාරීන්ටත් ස්තුතිය පිරිනමනවා.
රටේ ආර්ථිකය වගේම අධ්‍යාපනයත් වැදගත්. අපේ රටේ වැදගත්ම සම්පත තරුණ පරපුර බවයි මගේ අදහස. නමුත් ඇතමුන් කියනවා රටේ වැදගත්ම ජාතික සම්පත තෙල් ටැංකි කියලා. තවත් පිරිසක් කියනවා වැදගත්ම ජාතික සම්පත කොන්ක්‍රිට් ගොඩනැඟිලි කියලා. කෙසේ වෙතත් මගේ සහ රජයේ බහුතරයකගේ මතය වන්නේ මේ රටේ වැදගත්ම ජාතික සම්පත රටේ අනාගත පරපුර බවයි. රටේ අනාගතය තීරණය වන්නේ මොවුන්ට ලබාදෙන අධ්‍යාපනය අනුවයි. ඔවුන්ට ලබාදෙන පහසුකම් සහ විනය අනුව තමයි මේ ශත වර්ෂයේ මැද භාගයේ සහ ඉන් පසුව ජීවත්වන පුරවැසියන් ගොඩනැඟෙන්නේ. අපි එම වැඩපිළිවෙළ දැන්ම ආරම්භ කළ යුතුයි.
සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියලු ශිෂ්‍යාවන්ගේ බලාපොරොත්තුව වන්නේ හොදින් අධ්‍යාපනය ලබා, ඉන් පසුව සමාජයට ගොස් හොඳ ජීවිතයක් ගත කිරීමයි. මහාචාර්යවරුන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන් වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා ඇති.
දෙමව්පියන් උනන්දු වන්නේ මේ දරුවන්ට හොඳ අනාගතයක් උදා කරදීමටයි. රජය එහි මූලිකත්වය ගත යුතුයි. පසුගිය වසරේ රට කඩාවැටුණු අවස්ථාවේ පසුබෑමට ලක්වූ අධ්‍යාපන ක්‍රමය යථා තත්ත්වයට ගෙනවිත් ඉදිරියට ගෙන යාම සඳහා අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශය කැපවී කටයුතු කරන්නේ ඒ නිසයි.
අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ අඩු පාඩු ගණනාවක් තිබෙනවා. අධ්‍යාපනය ලබාදීමේ ක්‍රම මෙන්ම පරිපාලන ක්‍රමවේදයේ පවතින එම ගැටලු නිරාකරණය කර ගනිමින් මෙම ශතවර්ෂයේ මැද භාගයට ඔබින විෂය මාලා සකස් කිරීමට අවශ්‍ය කටයුතු අමාත්‍යාංශය කරගෙන යනවා. එය ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක්. පැරණි අධ්‍යාපන ක්‍රමවේදය අනුව කටයුතු කිරීමෙන් අපට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි.
අද මෙම පාසල්වලට දෙමව්පියන්, ආදි සිසුන් උදව් උපකාර කරනවා. එසේනම් රජයේ යුතුකම වන්නේ නිසි ක්‍රමවේදයක් ඔස්සේ සිසුන්ට දැනුම සහ අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළ සැකසීමයි. ඒ සඳහා විදුහල්පතිවරුන්ට, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට සහයෝගය ලබාදීමට අධ්‍යාපන පරිපාලන කණ්ඩායමක් අවශ්‍යයි.
විශේෂයෙන්ම මේ පාසල් තුළ හොඳ අධ්‍යාපන මට්ටමක් පවත්වාගෙන යාමේ මුලික වගකීම තිබෙන්නේ විදුහල්පතිවරුන් වෙතයි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඒ අයට අවශ්‍ය පුහුණුව ලබාදෙනවා. එසේනම් රටට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අපි සකස් කළ යුතුයි.
අපි ඊයේ IMF යෝජනා ඉදිරිපත් කරමින් නව ආර්ථිකයක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡා කළා. එම කටයුත්ත මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය හරහා සිදු කරනවා. එහෙත් අනාගතයට ඔබින පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක්. ඒ සඳහා අමාත්‍යාංශය කැපවීමෙන් කටයුතු කළ යුතුයි.
අධ්‍යාපනය කියන්නේ විභාග පමණක් නොවෙයි. අධ්‍යාපනය කියන්නේ ආදර්ශයන්. එම ආදර්ශය පාසල තුළින් ලබාගත යුතුයි. විදුහල්පති, ගුරුවරුන් එම ආදර්ශය සිසුන්ට ලබාදිය යුතුයි. එම වගකීමෙන් බැහැරවීමට බැහැ. ඒ නිසා සියලුදෙනා තමන්ගේ යුතුකම සහ වගකීම පිළිබද අවධානය යොමු කළ යුතුයි.
ඒ වගේම සිසුන්ගේ අධ්‍යාපනය නවත්වන්න බැහැ. විභාග පැවැත්වීම කඩාකප්පල් කරන්න බැහැ. මෙම සියලු ගැටලු ඉදිරියේ දී විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නැත්නම් පාසල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කිරීමට පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අපිට ආණ්ඩුවක් ලෙස සිද්ධ වෙනවා. එවිට ඕන අයෙකුට විවාද කරන්න පුළුවන් එය අවශ්‍යයිද, නැද්ද කියලා.
එක එක හේතු නිසා මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට අපට ඉඩ දීමට පුළුවන්කමක් නැහැ.
ඒ නිසා සියලු කණ්ඩායම් සමඟ අධ්‍යාපන අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම අධ්‍යාපන ක්‍රමය විධිමත්ව ඉදිරියට ගෙන යමින් රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට අපි බලාපොරාත්තු වෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් Z. තාජුඩීන් යන මහත්වරු සහ අධ්‍යාපන හා රේඛීය අමාත්‍යාංශවල නිලධාරීහු ද, දිවයිනේ පාසැල් රැසක විදුහල්පතිවරු සහ ගුරුවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-03-23