1977 පැවැත්වූ මහ මැතිවරණයේදී බියගම මැතිවරණ කොට්ඨාසයේ එජාප මන්ත්‍රීවරයා ලෙස වැඩි ඡන්ද 7000කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් රනිල් ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත්විය. රනිල් වික්‍රමසිංහ හය වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වු අතර 2022 වසරේ මැද භාගයේ දී මෙරට අටවන විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.
බලය සඳහාම කරන දේශපාලනයට නැඹුරු නොවී සියලු වාර්ගික කොටස් එක්සත් කරමින් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන දේශපාලනයේ නියැලි මේ භූමිකාව රනිල්ගේ දේශපාලන දර්ශනය වේ.
පක්ෂ දේශපාලනය ඉක්ම වූ ක්‍රමවේද තෝරා ගැනීම වෙනුවට දූරදර්ශීව කටයුතු කිරීමේ දේශපාලන විභවය රනිල්ගේ දේශපාලන භාවිතයේ කැපී පෙනේ. පක්ෂ දේශපාලනයේදී තම කාලය ලැබෙන තෙක් ඉවසීම, නායකයා සමඟ සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව තම ජීවිතයට එකතු කර ගැනීම, දිගු කාලීන දේශපාලන අනාගතයකට අවශ්‍ය බව රනිල් අවබෝධ කරගෙන තිබුණි. 1991දී එජාප නායකයා වූද රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාසට විරුද්ධව ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක ඇතුළු එජාප පිරිසක් විසින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී පක්ෂය සහ ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් රනිල් තම පරිණත නායකත්වය දෙමින් දෝෂාභියෝගය පරාජය කිරීමට රණසිංහ ප්‍රේමදාසට සහාය දී තත්කාලීන දේශපාලන අර්බුදය රටේ අර්බුදයක් වීමට තිබූ අවස්ථාව සමනය කිරීමට නායකත්වය දුන්හ.
කෙසේ වුවද මේ අභ්‍යන්තර ආරවුල ඉතා කෙටි කාලයක් යෑමේදී ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණි ඇතුළු එජාප ඉදිරි කවයේ නායකයන් බොහෝදෙනෙක් ඝාතනයට ලක් විය. මේ පසුබිම 1994 දී එජාප නායකයා ලෙස රනිල්ට තේරීපත් වීමට අවකාශය සකස් කළහ. එවක එජාපයෙන් පක්ෂයේ කැඩී ගිය කොටස් එකතු කරමින් භේද භින්න අවසන් කර පක්ෂයේ සමඟිය ඇති කිරීමට නායකත්වය දුන්හ. පක්ෂයේ සංවිධාන ශක්තිය ස්ථාවර කිරීමට නායකත්වය දුන් රනිල් 2001 වර්ෂයේදී ආණ්ඩු බලය එජාපයට ලබා ගැනීමට සමත් විය.
මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන වාර්ගික ප්‍රජාව ශ්‍රී ලාංකික ධජය යටතට ගෙන එමින් යහපත් ප්‍රතිඵල අත්පත් කර දෙන ප්‍රතිපත්ති රාමුව වෙනුවෙන් පෙනී සිටින රනිල්ගේ දේශපාලන දර්ශනය අභියෝගාත්මක එකකි. මක් නිසාදයත් නිදහස ලබා ගත් දා සිට මෙරට මැතිවරණ ඉතිහාසයේ සෑම මැතිවරණයකදීම ජාතිවාදී, ආගම්වාදී මුහුණුවර හේතුවෙන් රනිල් ඉදිරිපත් කරන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟීමේ දර්ශනය යටපත් වන බැවිනි. මේ නිසා බලය ලබා ගැනීමේ ව්‍යාජ දේශපාලනය සැමවිටම රනිල්ගේ දේශපාලන භාවිතය තුළ ප්‍රතික්ෂේප වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වී ඇත. මේ නිසා පක්ෂ දේශපාලනයේදී බලය උරගා බලන විභවය හමුවේ බලය අත්පත් කරගෙන සිටින පක්ෂය වෙතින් වෙනත් පක්ෂ විසින් බලය උදුරා ගැනීමේ සටනේදී පුද්ගල කේන්ද්‍රීය බරපතළ විවේචනවලට රනිල් මුහුණ දී ඇත. මෙහි බරපතළ ඛේදවාචකය වූයේ රනිල්ගේ දර්ශනය මහජන පරිකල්පනය ගොඩනැඟීම සඳහා කටයුතු කිරීම වෙනුවට එජාපයේ සමහර කොටස් පක්ෂයෙන් ඉවත්වී යෑමයි. බොහෝ අවස්ථාවල රනිල්ගේ දර්ශනයට විරුද්ධව වෙන්වී ගිය ඇතැම් කොටස් විසින් වාර්ගික එක්සත් කිරීමේ දර්ශනය පසෙකලා රැල්ල ගමන් කරන දිශාවට එකතු වී රටට අවශ්‍ය රනිල්ගේ වැදගත් ප්‍රතිපත්ති රාමුව විවේචනය කිරීමට කටයුතු කරමින් සිටියි.
2005 ජනාධිපතිවරණයේ දී රනිල්ගේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවතියේ ඡන්ද එක්ලක්ෂ හැත්තෑ දහසකට වඩා අඩු ප්රමාණයකි. එම ජයග්‍රහණය වැළකී ගියේ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් වූ සියලු වාර්ගික කොටස් එක්සත් කර ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීමේ රනිල්ගේ දර්ශනයට විරුද්ධව කටයුතු කළ බලවේග විසින් ගොඩනැගූ ජාතිවාදී මැදිහත්වීම නිසාය. මෙහි ගැඹුරුම ප්‍රවේශය සිදුවූයේ ප්රභාකරන් විසින් උතුරේ ජනතාවට ඡන්දය වර්ජනය කිරීමේ බලහත්කාරය යොදා ගනිමිනි.
ජේ.ආර්, ප්‍රේමදාස වැනි නායකයන් තුළ රනිල් කටයුතු කළ ද ඔවුන්ගේ බලහත්කාර පීඩනය තම දේශපාලන සගයන් වෙත මුදා හැරීම මගින් පක්ෂය පාලනය කිරීම ප්‍රධාන කොටගත් පුද්ගල පක්ෂපාතීත්වය ඇති කර ගැනීමේ දේශපාලන සම්ප්රදාය රනිල් සෑමවිටම ප්‍රතික්ෂේප කළේය.
1994 දී එජාප නායකයා ලෙස පත්වූ දා සිට තමා විවේචනය කිරීමේ නිදහස රනිල් තම පක්ෂයේ සාමාජිකයන්ට ලබා දෙන ලදී. මෙය කොතෙක් ගැඹුරු තලයකට තල්ලු වී ගියේද කියතොත් 2013, 2014 වසර වන විට ඵලදායි විවේචනය ඉක්මවා ගිය පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගත් බිහිසුණු විවේචනවලට රනිල්ට මුහුණදීමට සිදුවූයේ ඔහුගේම දේශපාලන කඳවුරේ ඇතැම් අදූරදර්ශි සාමාජිකයන් වෙතිනි. එම පිරිස් විසින් ක්‍රියාත්මක කළ අපරිණත ක්‍රියාකාරම් හමුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගල්ගැසීම දක්වා වූ කළ ප්‍රහාරාත්මක පීඩන ඊට ඇතුළත් විය.
නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාසය තබමින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව තරගකාරී ලෙස සම්බන්ධ වෙමින් එහි වාසි අත්කරගෙන ශ්‍රී ලංකාව සංවර්ධන දිශාවට ගෙන යා හැකි බව රනිල්ගේ විශ්වාසයයි. 2015 මැතිවරණ ජයග්රහණයෙන් පසු ප්‍රබල විදේශ ප්‍රතිපත්තියක් ගොඩනැඟීම සඳහා නායකත්වය දුන්හ. විදේශ ආයෝජන මෙරටට ලබාගෙන බොහෝ රාජ්‍ය සමඟ ද්විපාර්ශ්වීය ආර්ථික සහයෝගිතාවලට එළඹෙමින් ආර්ථික සමෘද්ධිය සඳහා වූ අවකාශය සකස් කළහ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය සාකච්ඡා මේසයට ගෙන ඒම වැනි ශ්‍රී ලංකාවට වඩා වැදගත් කරුණු සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් 2017 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය විසින් රනිල්ට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.
නිදහස සහ ප්රජාතන්ත්රවාදය රටේ ශක්තිමත් කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරීම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කර ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම වැනි ප්‍රබල රාජ්‍යයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට රනිල්ගේ නායකත්වය ප්‍රධාන විය.
බොහෝ අය දේශපාලන පාරිභාෂික වචන මාලාවේ නැති වචන භාවිත කරමින් රනිල්ගේ පෞද්ගලික ජීවිතයට දැඩි වාග්ප්‍රහාර එල්ල කළද ඒවාට ප්‍රතිචාර නොදැක්වීමේ පරමාදර්ශි දේශපාලන භාවිතය දශක 5කට ආසන්න දේශපාලන ජීවිතයේ වටිනා සම්ප්රදායක් ලෙස දැක්විය හැකිය.
විවිධ සංකල්ප ඇසුරෙන් රනිල් විසින් හඳුන්වා දුන් බොහෝ කාර්යයන් ඇතැම් නව බලවේග විසින් තමාගේ ගිණුමට බැර කර ගැනීමේ දී උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටීමේ පරිණත දේශපාලන භාවිතයක් රනිල් සතුව පවතී. 2020 මැතිවරණයේ දී පක්ෂයට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා එකම පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීමට ඉක්මවීමේ මූලෝපාය ඔස්සේ පාර්ලිමේන්තුවෙන් පිටත ප්‍රබල සංවාදයක් ගොඩනඟමින් එජාප ප්රතිසංවිධාන කටයුතු බලගතු කිරීමේ මෙවලමක් ලෙස යොදා ගැනීමට රනිල් කටයුතු කළේය.
අභියෝගාත්මක ශ්‍රී ලාංකිය ජාතිය ගොඩනැඟීමේ රනිල්ගේ දර්ශනයේ එළඹගෙන සිටිනවාට වඩා ව්‍යාජ දේශපාලන අංග ක්රියාවේ යොදවමින් ජනප්‍රිය දේශපාලන තරගයක යෙදීම හේතුවෙන් අදූරදර්ශී කණ්ඩායමක් 2020 වසරේ දී එජාපයෙන් ඉවත් වී වෙනම බලවේග පිහිටුවා ගත්හ. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දී ඔවුන්ව ග්‍රහණය කර විකෘති ආණ්ඩු ඇති කිරීම රනිල් ප්‍රතික්ෂේප කළේය. වෙනත් බලවේගවල කටයුතු කරන පිරිස විසින් රනිල්ගේ එජාප නායකත්වය අභියෝගයට ලක් කිරීමේ මූලෝපාය තුළ සැඟවී ඇති කාරණා වන්නේ ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා අවශ්‍ය වාර්ගික – ආගම් එක්සත් කිරීමේ රනිල්ගේ බලගතු දර්ශනය විනාශ කිරීමයි.
මේ අර්බුදය හමුවේ හිටපු ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති රනිල් වික්‍රමසිංහ 2022 වසරේ ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා ගත්හ. ඉතා කෙටි කලක් තුළ එතෙක් විසඳා ගැනීමට නොහැකි වූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, පොහොර ආදිය පහසුවෙන් ලබා දීම සඳහා පිළියම් සකස් කරමින් දිගු පෝලිම් අවසන් කිරීමට රනිල් වික්‍රමසිංහ විධිමත් ක්‍රම ව්‍යුහයක් ගොඩනැඟූහ.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ස්ථිර ආර්ථික ක්‍රමයක් ගොඩනැඟීමට අවශ්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ශක්තිමත් ප්රවේශයකට රැගෙන යමින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට සමත් විය. ඒ අනුව විස්තීර්ණ පහසුකම් යටතේ ණය ආධාර ලබාදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරමින් එම ආධාර පහසුකම ඇ.ඩො බිලියන7 දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ලබා දීමෙන් තහවුරු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා විපක්ෂය කොතෙක් විරෝධතා දැක්වුවත් රාජ්‍යතාන්ත්‍රිකව සහ සංයමයකින් යුතුව රටේ ප්‍රතිරූපය ආරක්ෂා කරමින් ජනතාව බේරා ගැනීම සඳහා කටයුතු කළ බවයි.
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන