Home Local News Room : ජනාධිපති උපදේශක සාගල IMF නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්...

News Room : ජනාධිපති උපදේශක සාගල IMF නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් එකවර හමුවෙයි! මූල්‍ය පාලනය-දූෂණ විරෝධය-වගවීම ගැන උපදෙස් දෙයි! PHOTOS

3
0

රට මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩඒමේ දී මූල්‍ය පාලනය, දූෂණ විරෝධි බව හා නීතියේ ආධිපත්‍ය යන කරුණු කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම ඉතා වැදගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ඊයේ (20) මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා රජය, රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මූල්‍ය කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණවලදී කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.

අතීතයේ සිදුවූ වැරදි මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවත්, විවිධ ක්ෂේත්‍රයන්හි දකින අභියෝග හා ප්‍රතිසංස්කරණවලදී ප්‍රමුඛතාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දිය හැකි සහාය පිළිබඳ සොයා බැලීම වැදගත් බවත් එම නියෝජිතයෝ පෙන්වා දුන්හ.

රටක් ලෙස ඉදිරියට යාමට මෙම නව ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බව සඳහන් කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහිදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ හා එම මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍ර ප්‍රමුඛ වන බවත් ඒ අනුව මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ගැටළු නිරාකරණය කරගැනීමට හැකියාව ලැබෙන බවත් සඳහන් කළේය.
මෙම කාර්යයට සෘජුව දායක වන රාජ්‍ය ආයතන ප්‍රධානීහු මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.

අදාළ වැඩසටහන්වල ප්‍රගතිය නිරන්තරයෙන් අධ්‍යයනය කර වාර්තා ලබා ගැනීම සඳහා ඉදිරියටත් මෙවැනි රැස්වීම් කැඳවීමේ වැදගත්කමත්,මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මීට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ කැපවීමේ අවශ්‍යතාවයත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානින් හා නිලධාරිහු මෙම සාකච්ච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-03-21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here