ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (මාර්තු 19) පැවසීය.
ඒ අනුව, මේ වසරේ ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති සියලු මුදල් නැවත ගෙවීම සඳහා වසර දහයක් ලබා දෙනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය මේ වන විට වත්මන් රජයට ඉඩ ලබා දී ඇත්තේ, “හුස්ම ගැනීමට පමණක්” බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බවට එම ප්‍රධානීන් පවසනු ඇතැයි පැවැසූ හෙතෙම එවිට වත්මන් රජයට ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකි යැයි කීවේ ය.
අරලියගහ මන්දිරයේදී ඊයේ (මාර්තු 19) පෙරවරුවේ පැවැති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට එළැඹීමෙන් අනතුරුව ඩොලරය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
රට නැවත ගොඩගත හැක්කේ ණය සහනය සමග බව ත්, ඉදිරි වසර දෙක තුළ දියුණු වන රටක් සියලු දෙනාට දැක බලා ගත හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා කීවේ ය.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම රටේ සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් අලුත් ණය ලබා ගැනීමට සිදුවන බව ත්, විදේශයන්ගෙන් මිල දී ගැනීමට ඇති අවශ්‍යතා සඳහා යන වියදමට වඩා අපනයන ආදායම අඩු අගයක් ගන්නා බව ත් හෙතෙම සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයට පත්වීම සඳහා වසර 4ක කාල පරිච්ඡේදයක් ඇතැයි පැවැසූ ජනාධිපතිවරයා අය-වැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අය-වැය අතිරික්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඉලක්ක සමග වත්මන් රජය එකඟවූ බවත්, එවිට ලබා ගත් මුදල් නැවත ගෙවිය හැකි බව ත් ප්‍රකාශ කළේය.
පසුගිය මාස 7ක පමණ කාලයක සිට මේ දක්වා රට ස්ථාවර කිරීමට තමාගේ කණ්ඩායමට හැකිවූ බව පැවසූ හෙතෙම අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට සහල් ලැබෙනු ඇතැයි කීවේ ය.
කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විශාඛා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා රට පුරා පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 700ක් පමණ සහභාගි වී සිටියහ.
ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා, දිස්ත්‍රික් ඉන්ටරැක්ට් කමිටුවේ සභාපති ෂානාස් ෂහාබ්දීන්, තරුණ කමිටුවේ සභාපති ජී. එස්. සිල්වෙස්ටර්, ක්‍රිෂාන් ප්‍රනාන්දු ඇතුළු රොටරි සාමාජිකයෝ ද මේ අවස්ථාවට සහභාගි වූහ.






