Home Local News Room : කාගේ හෝ ඔළුවේ හැදෙන විකාරයක් නිසා නීති ව්‍යවස්ථා වෙනස්...

News Room : කාගේ හෝ ඔළුවේ හැදෙන විකාරයක් නිසා නීති ව්‍යවස්ථා වෙනස් කරන්න බැහැ… අධිකරණයට අපහාස කිරීම බරපතල වරදක්… අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – විජිත හේරත් – Lanka Truth | සිංහල

13
0

කාගේ හෝ ඔළුවේ හැදෙන විකාරයක් නිසා නීති ව්‍යවස්ථා වෙනස් කළ නොහැකි බවත් අධිකරණයට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඊට එරෙහිව ජාතික ජන බලවේගය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අශෝක රන්වලද එක් වී සිටි අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් දැක්වූ අදහස් පහතින් දැක් වේ.

“අද 2023 මාර්තු 19 වෙනිදා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පස්සෙ සියලුම මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ධුර කාලය අවසන් වෙනවා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පස්සේ මේ ආයතනවල නගරාධිපතිවරුන්ට, සභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තවදුරටත් මහජන නියෝජිතයන් හැටියට කටයුතු කරන්න බැහැ. ව්‍යවස්ථානුකූලව නිල කාලය අවසන් වෙනවා. ඒ නිසාම මැතිවරණය පැවැත්විය යුතුව තිබුණා මාර්තු මාසයේ 19ට පෙර. නමුත් ආණ්ඩුව දිගින් දිගටම හිතාමතාම මේ මැතිවරණය කල් දැමුවා. මේ මැතිවරණය පවත්වීමට නියමිතව තිබුණේ ගිය වසරේ පෙබරවාරි අග හෝ මාර්තු මුල. ඇමතිවරයාගේ බලය පාවිච්චි කරලා වසරකින් කල්දැමුවා. මේ වසරේ මාර්තු 09 වැනිදා ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිසම දින නියම කළා. නමුත් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබා දුන්නේ නැහැ. ඒ නිසාම මැතිවරණය අප්‍රේල් 25 දක්වා කල්දමන්න මැතිවරණ කොමිසමට සිදුවුණා. අද වන විට ඒ දිනයට මැතිවරණය පවත්වන්නත් බැරි තත්වයක් උදාකර තිබෙනවා. තවමත් මුදල් අමාත්‍යාංශයෙන් මුද්‍රණාලයාධිපතිනියට, ඒ වගේම මැතිවරණ කොමිසමට අදාල මුදල් ලබාදී නැහැ. පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ තීන්දුවක් ලබාදුන්නා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මුදල් ඇමතිවරයා විදිහටත් රනිල් වික්‍රමසිංහටත් මුද්‍රණාලයාධිපතිනියටත් මැතිවරණය පැවැත්වීමට බාධා පමුණුවන්න එපා අවශ්‍ය කරන මුදල් ලබාදීමට සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට. ඒ නිසා දැන් කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් නැහැ පාර්ලිමේන්තුවෙන් වෙන් කරන ලද මුදල් ලබානොදී ඉන්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව නිශ්චිතව සඳහන් වෙලා තිබෙනවා මේ රටේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බවට. ඒ බලතල ප්‍රකාරව තමයි 2022 දෙසැම්බර් මාසයේදි 2023 වර්ෂය සඳහා මුදල් වෙන්කළේ. ඒ අයවැය යෝජනාවලදි තමයි මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලයන 10ක් මුදල් වෙන් කළේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ, මුදල් අමාත්‍යවරයාගේ වගකීම තමයි ඒ මුදල් නොපමාව මැතිවරණ කොමිසමට ලබාදීම. නමුත් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා වෙට්ටු දමමින් ව්‍යවස්ථා විරෝධී ලෙස මේ මුදල් ලබාදෙන්නේ නැහැ. ඒ නිසා අධිකරණය මේ ඓතිහාසික තීන්දුව ලබාදුන්නා. අද මුදල් ඇමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් නොසලකා කටයුතු කරමින් ඉන්නවා. අමාත්‍යාංශයේ මුදල් බාරව ඉන්න ප්‍රධාන නිලධාරියා තමයි ලේකම්වරයා. ඔහු භාණ්ඩාගාරයේ ලේකම්වරයා. මුදල් නිකුත් කිරීම ඔහුගේ වගකීම. ඔහු එය මුදල් අමාත්‍යවරයාට පවරා නිහඬව ඉන්නවා. ඔහුට වගකීම නොසලකා හරින්න කිසිම අයිතියක් නැහැ. ඔහු ව්‍යවස්ථානුකූලව බැඳී ඉන්නවා මේ මුදල් මැතිවරණ කොමිසම වෙත ලබාදෙන්න. මෙවැනි ක්‍රියාවක් සිදුවන පළමුවෙනි වතාව. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, අත්තනෝමතික මැදිහත්වීම්වලින් තමයි මේ ඡන්දයට අවශ්‍ය මුදල ලබානොදෙන්නේ.

දැන් අලුත් ප්‍රශ්නයක් මතුකර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දොළවත්ත මන්ත්‍රීවරයා සහ සේමසිංහ මන්ත්‍රීවරයා, අධිකරණ තීන්දුව විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දක්වන්න උත්සාහ කළා. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් නොවෙයි. පැහැදිලිවම අධිකරණ තීන්දුව විධායකයට නියෝගයක් ලබාදීම සිදුකර තිබෙනවා. මීට පෙරාතුවත් විවිධ අවස්ථාවලදී අධිකරණ තීන්දු කැබිනට් මණ්ඩලයට විරුද්ධව අරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වූ එකක් කැබිනට් එකට වෙනස් කරන්න බැහැ. එසේ වෙනස් කරනවා නම් නැවත පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. කැබිනට් මණ්ඩලය බැඳී ඉන්නවා පාර්ලිමේන්තුවේ සම්මත වූ මුදල් කොමිසමට ලබාදෙන්න. ඒක තනි පුද්ගලයෙකුට ඔළුවෙ අමාරුවක් නිසා වෙනස් කළ නොහැකියි. ඒ නිසා මැතිවරණයට අවශ්‍ය මුදල ලබාදිය යුතුයි. දොලවත්ත සහ සේමසිංහ මන්ත්‍රීවරුන් මතු කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙසට. අධිකරණ නියෝගයෙන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බලය තවදුරටත් ශක්තිමත් කිරීමක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ රටේ පරමාධිපත්‍යයේ බලය පිළිබඳව නිශ්චිතව සඳහන් වෙනවා. පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ජනතාවගේ ඡන්ද බලය. පරමාධිපත්‍ය බලය කාටවත් උදුරා ගන්න බැහැ. කැබිනට් මණ්ඩලයට පැහැර ගන්න බැහැ. ඒ නිසා අපි මුදල් ඇමතිවරයාටත්, මුදල් ලේකම්වරයාටත් නැවත අවධාරණය කරනවා අධිකරණ තීන්දුවට හිස නමන ලෙසට. අධිකරණ තීන්දුවලට හිස නොනමා කටයුතු කිරීමේ විපාක ඒ අයට විඳින්න සිදුවෙනවා.

මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ධුරය දරන වෙලාවේ ඔහු ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව කල්දමා, පාර්ලිමේන්තු බලය වෙනත් කණ්ඩායමකට බලය දුන්නා. දින 52ක කුමන්ත්‍රණය මෙහෙයවමින් මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළා. අපි මන්ත්‍රීවරු 121 දෙනෙක් පෙත්සමක් අත්සන් කර අධිකරණයට ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහත් එකේ අත්සන්කරුවෙක්. එදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව දුන්නේ විධායකයට එරෙහිව. ඒ තීන්දුව පිළිගන්න රනිල් වික්‍රමසිංහට පුළුවන් වුණා. අද රනිල් සරදමක් ලෙස මේ අධිකරණ තීන්දුව පිළිනොගනිමින් ඉන්නවා. මෙවැනි අවස්ථා ගණනාවක සිදුවීම් ඉතිහාසයේ තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම අධිකරණයේ තීන්දුවට කැබිනට් මණ්ඩලය හිස නැමුවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, ව්‍යවස්ථාදාකයේ වගකීමක්.

රනිල් වික්‍රමසිංහ අද මැතිවරණ කොමිසමත්, අධිකරණයත් හෑල්ලුවට ලක්කරනවා. එහෙම රනිල් අයි.එම්.එෆ්. එකේ උවමනාවට මහ බැංකුව ස්වාධින කරන්න උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තුවේ සම්මතවී තිබෙන 17, 19, 20, 21, ව්‍යවස්ථා සංශෝධනවලින් ස්ථාපිත වුණු ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ නැහැ. ඒවා හෑල්ලුවට ලක්කරමින්, චක්ගෝලයෝ දමා අධිකරණය හෑල්ලුවට ලක්කරමින් කටයුතු කරනවා. හදිසියේම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ස්ථාපිත කළා. එහි සභාපති ලෙස චමල් රාජපක්ෂ පත් කළා. දැන් ඒ කමිටුවට දොලවත්ත මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය යොමුකර තිබෙනවා. ලබන 23දා පෙරවරු 10.30ට මේ වරප්‍රසාද කමිටුව කැඳවා තිබෙනවා. එහි න්‍යාය පත්‍රයේ පැහැදිලිව දොලවත්ත මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කර තිබෙනවා. මෙය ඉතාම බරපතළ තත්වයක්. අපේ රටේ නීතිය, නීතියේ පරමාධිපත්‍යය හෑල්ලුවට ලක්කිරීමක්. ජනතාවගේ උත්තරීතර නීතිය වූ ව්‍යවස්ථාව හෑල්ලුවට ලක්කිරීමක්.

ජනාධිපතිවරයා වැඩ බාර ගන්නකොට දිවුරා ප්‍රතිඥා දෙනවා මේ ව්‍යවස්ථාව ගෞරව බහුමානයෙන් යුක්තව දිවිහිමියෙන් ආරක්ෂා කරන බවට. රනිල් වික්‍රමසිංහත් අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා මේ ව්‍යවස්ථාව ගෞරව බහුමානයෙන් යුක්තව ආරක්ෂා කරන බවට. අද රනිල් මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. මෙය ඉතා බරපතළ තත්වයක්.

අපි ජනතාවගේ පැත්තේ සිට ආණ්ඩුවට අවධාරණය කරනවා, වහාම මේ අධිකරණ තීන්දුවට හිස නමා, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදෙන්න. ඊට එරෙහිව යන්න විධායකට, කැබිනට් මණ්ඩලයට අයිතියක් නැහැ. ඒ වගේම දැනට දින නියම කර තිබෙන මැතිවරණය අප්‍රේල් 25දා පැවැත්වීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ලබාදෙන්න. දැනට දින නියම කර තිබෙන තැපැල් ඡන්දය සඳහා මාර්තු 28, 29, 30 දිනවලට අවශ්‍ය කරන ආකායට මුදල් වහාම ලබාදෙන්න. දැනටත් එසේ නොකර තිබෙනවා නම්, ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. අපි ජාතික ජන බලවේගය විදිහට දැනටමත් අධිකරණයට ගොස් තිබෙනවා. මැතිවරණයට බාධා කිරීම අභියෝගයට ලක්කරමින් අලුත් නඩු කටයුත්තකට ආරම්භය ගෙන තිබෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්ව මේ ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කර තිබෙනවා. ඒ ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබෙනවා.

අධිකරණ ක්‍රියාවලිය හරහා මෙය පස්සට තල්ලු කිරීමත් ආණ්ඩුවේ උපක්‍රමයක්. අධිකරණ කටයුතු ඉක්මනින් අවසන් වෙන්නේ නැහැ. ඒක පාවිච්චි කර, මැතිවරණය කල්දමන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ඒකටත් ඉඩ නොතබා වහාම මේ මැතිවරණය පවත්වන්න. ජනතා පරමාධිපත්‍ය බලය, ඡන්ද බලය කැබිනට් එකට රනිල් වික්‍රමසිංහට පැහැර ගන්න කිසිදු හෝ අයිතියක් නැහැ. එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්, නීති විරෝධී ක්‍රියාවක්, ඊට එරෙහිව මේ රටේ ජනතාව අනිවාර්යයෙන් පෙළ ගැසෙනවා. ජනතාවගේ බලය ඊට වඩා ශක්තිමත් කියන එක අපි අනාගතයේ පෙන්වනවා.”

මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්

ප්‍රශ්නය :- පරමාධිපත්‍ය බලය ජනතාව සතු බලයක්. එය කාටවත් පැහැර ගන්න බැහැ. නමුත් පසුගිය වකවානුව තුළ ඒ වගේ පැහැර ගැනීම් අනන්තවත් තිබුණා. අධිකරණයටත් කරුණු කාරණා ඉදිරිපත් කළා. අධිකරණය හෑල්ලුවට ලක්වෙලා තිබෙනවා. මින් එහාට යන්න තැනක් තිබෙනවාද?

පිළිතුර :- අධිකරණය තමයි ව්‍යවස්ථා විරෝධීව යම්කිසි පාලකයෙක් කටයුතු කරනවා නම් ඊට එරෙහිව තීන්දු දෙන එකම ප්‍රධාන ආයතනය. අධිකරණ තීන්දුවලට හිස නැමීම මේ රටේ ජනාධිපතිවරයාගේත්, අමාත්‍ය මණ්ඩලයේත්, පාර්ලිමේන්තුවේත්, ජනතාවගේත් වගකීම. එම අධිකරණ තීන්දු නොසලකා ඒවට පයින් ගසා කටයුතු කරනවා නම්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කවර හෝ එවැනි පුද්ගලයෙකුට එරෙහිව නීතිමය දඬුවම් ලබාදිය හැකියි. එය තමයි විය යුත්තේ. ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී මැදිහත් වෙනවා.

ප්‍රශ්නය :- රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් ගැන හිතමින් සිටින බවට විවිධ කතා මතුවෙනවා.

ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනතා ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිවරයෙකුට තමන්ම නැවත ජනාධිපතිවරණය සඳහා තරඟ වදිනවානම් වසරකට පෙර ජනාධිපතිවරණයක් කැඳවන්න හැකියාව තිබෙනවා කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ කියන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඔහු නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න වසරක් කලින් ජනාධිපතිවරණය කැඳවන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. ඒ නිසා නැවත ජනාධිපතිවරණයක් එන්න නියමිත වන්නේ 2024 නොවැම්බර් මාසයෙන් පස්සේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here