යාල වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ ඝන වනාන්තරයක් සහිත ගල් ආර ප්‍රදේශයේ ඉඩම් අක්කර 40ක් පමණ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් හෙළි පෙහෙළි කරමින් ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.
දින හයක් තිස්සේ මෙම මහා පරිසර විනාශයක් සිදුවන බවට හේන් ගොවීන් පිරිසක් විසින් කළ දැනුම් දීමකට අනුව එම ස්ථානයට 27දා යන විටත් එක් බැකෝ යන්ත්‍රයක් වැඩ කරමින් සිටි අතර මාධ්‍යවේදියා දුටු වහාම විදුලි වේගයෙන් එම ස්ථානයෙන් පළා යාමට යන්ත්‍රකරු කටයුතු කළේය.
එළි පෙහෙළි කළ භූමිය තුළ සාදා තිබූ තාවකාලික ලැගුම්හලක හිස් මත්පැන් බෝතල් 212ක් ද සොයා ගැනීමට හැකිවිය.
වසර සිය ගණනක් ඉපැරැණි පලු, වීර ආදී ගස් ගලවා පෙරළා දමා තිබූ අතර අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් වට කොට අඩි හතළිහක් පමණ පළලට මාර්ගයක්ද සලකුණු කර ඇති ආකාරය දැකගැනීමට හැකිවිය.
මෙම යාල වන සංරක්ෂණ කලාපයේ වන අලි ඇතුළු වන සතුන් සහ කුරුලු වර්ග දහස් ගණනකගේ වාසස්ථාන අහිමි කරමින් දින 5ක් තිස්සේ කරන පරිසර විනාශය පිළිබඳව ලුණුගම්වහෙර වන සංරක්ෂණ නිලධාරීන් සහ යාල වනජීවී නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු නිලධාරියෙකු ඒ පිළිබඳව සොයා බැලීමක් නොකළ බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
දෙබරවැව ප්‍රදේශයේ ලී වෙළෙඳ ව්‍යාපාරිකයෙකු විසින් මෙලෙස ඉඩම් ඇල්ලීමේ ජාවාරම කරනු ලබන බවත් ඔහුට අක්කර තිහක් සහ ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන් කිහිප දෙනෙකුටද අයත් අක්කර දහයක් මෙලෙස හෙළි-පෙහෙළි කරන බවත් එම ස්ථානයෙන් පළා යමින් සිටින යන්ත්‍රකරුගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ය.
එම ස්ථානයේ සිටම මේ පිළිබඳව ලුණුගම්වෙහෙර අඩවි වන නිලධාරි කුමුදු රෝහණගෙන් කළ විමසීමකදී, මෙවැනි සිදුවීමක් තමන් වෙත වාර්තා වී නොමැති බවත් එලෙස හෙළි පෙහෙළි කිරීමක් කරන්නේ, නම් පරිසර වාර්තාවක් ලබා ගැනීමටත් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
මෙම වනාන්තරය තුළ දිවුල්, පලු, වීර වැනි වන සතුන් ආහාරයට ගන්නා පැළ වර්ග බහුලව දැකිය හැකි අතර මෙම ශාක විනාශ කිරීමෙන් වන අලි ගම් වැදීම වැළැක්විය නොහැකි බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.
වියළි කාලයට වන සතුන්ට ජලය ලබා ගැනීම සඳහා කුඩා වැව් මෙම ප්‍රදේශයේ ස්ථාපනය කොට ඇති අතර එම කුඩා වැව් සඳහා ජලය ලැබෙන්නේ ගල් ආර මගින් බවත් එම ජලය ලැබෙන ආරවල් සියල්ල හරස් කොට මෙම මහා පරිමාණ ඉඩම් ජාවාරම කිරීමට වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහයෝගයත් ලැබෙනු ඇති බවත් එම ස්ථානයට පැමිණි පරිසරවේදී ප්‍රින්ස් සුරේන්ද්‍ර දහනායක සඳහන් කළේය.
මේ පිළිබඳව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරිගෙන් කළ විමසීමකදී, වන සංරක්ෂණ ඉඩම් හෙළි පෙහෙළි කරන බවට නිතර වාර්තා වන බැවින් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීමට ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ඇය සඳහන් කළාය.
මව්බිම – තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී






