එන්න අපි සංගගේ බිරිඳට ගල් ගහන්න සුදුසු අය තෝරනවා. ඒකට හේතුව සංගගේ බිරිඳ පහුගිය දවසක ප්‍රසිද්ධියේ මොකක්දෝ ආගමක් ගැන කියපු කතන්දරය. දෙයියෝ වැඳලා ඉල්ලපු දේවල් ගැන, දෙයියෝ වැඳලා කරගත්තු දේවල් ගැන, දෙයියෝ දුන්නු දේවල් ගැන සංගගේ බිරිඳ කියලා තියෙනවා. ඇත්තටම සංගගේ ක්‍රිකට් සංගට අයිති නැද්ද? සංගගේ ක්‍රිකට් සංගගේ බිරිඳට අයිති නැද්ද? මේ කිසි දෙයක් අපට වැඩක් නෑ. අපි තෝරන්න යන්නේ සංගගේ බිරිඳට ගල් ගහන්න වඩාත්ම සුදුසුකම් තියෙන පිරිසක්. ඒ පිරිස එකතු කරලා අපි සංගගේ බිරිඳට ගල් ගහන්නයි යන්නේ. පළමුවෙන්ම දෙයියො බුදුන් අදහන්නේ නැති, මල් පහන් පූජා කරන්නේ නැති, පන්සල්, පල්ලි, කෝවිල් යන්නේ නැති, කිසි දවසක ආගමකට ගැති නොවුණු කෙනෙක් ඉන්නවා නම් එන්න. එයාලව අපි ගන්නවා මේ කණ්ඩායමේ නායකයා විදියට. අරහන්තෙ ගාව, පුල්ලෙයාරෙ ගාව මල් පහන් පත්තු නොකරපු, සංහිඳ ගාව බාරෙට කිරි උතුරන්න නොගිය, වැව් ගම්මානවල මිනිස්සුත් එක්ක දේව ඇදහිලිවලට සම්බන්ධ නොවිච්ච ඕනෙම කෙනෙක්ව අපි ගන්නවා මේ වැඩේට. කසදා බඳිද්දී පොරොන්දම් බලපු නැති, උප්පැන්න සහතිකයට වඩා වටින බව හිතාගෙන වෙලාව හදපු නැති, දරුවට නමක් දාද්දී නැකැත් ශාස්ත්‍රය නොබලපු, දරුවට ලග්නයක් තියෙනවා කියලා නොහිතපු, දරුවට ඉඳුල් කටගාන්න අරකට මේකට නැකැත් නොහදපු ඕනෙ කෙනෙක් අපි ගන්නවා මේ වැඩේට.
තමන්ගේ ගේ හදද්දී ගෙට මුල්ගල තියද්දී වෙලාවක් හැදුවෙ නැති, ගෙට මුල්ගල තියන්න පැත්තක් ගැන නොහිතපු ඕනෙ කෙනෙක්ට මේ වැඩේට සෙට් වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර නැකැත් සිරිත් සියල්ල ඉෂ්ට නොකරපු, අවුරුද්දට ළිප ගිනි මොළවද්දී එක පැත්තක් නොබලපු, හිස තෙල් ගාන්න කොළ වර්ගයක් ගෙනාපු නැති ඕනෙම කෙනෙක්ට මේ වැඩේට එකතුවෙන්න පුළුවන්කම තියෙනවා. හැම ඉරිදාම පල්ලි නොයන, හැම සිකුරාදාම පල්ලි නොයන, මුස්ලිම් පල්ලිය නොඅදහන, කතෝලික පල්ලිය නොඅදහන, මොන වැඩේ තිබුණත් සිකුරාදාට කඩේ නොවහන හින්දු බැතිමතුන්ට, මොන වැඩේ තිබුණත් කඩේ නොවහන මුස්ලිම් බැතිමතුන්ට, ඉරිදාට පල්ලි යන එක සත පහක වැඩක් නෑ කියලා ඕනෙ තැනක කොන්ද කෙළින් තියාගෙන කියන්න පුළුවන් කතෝලික බැතිමතුන්ට මේ වැඩේට එකතු වෙන්න පුළුවන්. කෝවිලට ගිහින් ඝණ්ටාරෙ ගහලා, ගිනි පෑගිල්ලට උදව් වෙලා, පුල්ලෙයාරෙ අදහලා, දෙවියන්ගෙන් දේවල් ඉල්ලලා, දෙමළ අලුත් අවුරුද්දට කිරි උතුරුවන්නේ නැති, පොංගල් හදන්නේ නැති, කෝළම් අඳින්නේ නැති ඕනෙ කෙනෙකුට මේ වැඩේට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. අපලයක් උපද්‍රවයක් ආවට පස්සේ කපුටන්ට කෑම නොදෙන, දේවාලෙට පූජා වට්ටිය අරන් යන්නේ නැති, බාරහාර ඔප්පු නොකරන, දේවතා ඇදහිලි කිසි දෙයක් නැති ඕනෙ කෙනකුට මේ වැඩේට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම එහෙම අය ඉන්නවද? එහෙම අය ඇතිනේ. මොකද නැත්නම් සංගගේ බිරිඳට මෙච්චර ගහන්න මිනිස්සු කොහොමද එකතු වෙන්නේ? එහෙම එන අය තමන්ගේ වාහනේ එනවා නම්, වාහනේ ඉස්සරහා දේව රූප, බුද්ධ ප්‍රතිමා එහෙම නැතුව එනවා නම් තමයි වඩාත් හොඳ. මොකද සමහර අයගේ වාහනවල දේවතා රූප, බුද්ධ රූප නෙවෙයි, ඒ සියල්ලටම යටින් දෙහි ගෙඩි තුනකුයි මිරිස් කරලකුයි එල්ලලයි තියෙන්නේ. ඒවා ඇදහිලි විශ්වාස විදියටයි අපි නම් හිතන්නේ. ඒ නිසා ඒ දේවල් කරන කිසිවකුට මේ වැඩේ කරන්න බෑ කියලයි අපි හිතන්නේ. බලි තොවිල්, යාග හෝම, දෙහි කැපිලි, අරවා වළලලා, මේවා වළලලා කියලා ඒවා අයින් කිරිලි මේ හැම දේම නොකරන ඕනෙ කෙනකුට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේවායින් එකක් විතරක් නොකර හිටියා කියලා වැඩක් නෑ. මෙතෙක් කියපු දේවලින් එකක්වත් කරපු නැති කෙනෙක් නම් තමයි මේ වැඩේට වැඩිපුරම සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අපි හොයන්නේ එහෙම කට්ටිය.
දෙවියන්ගෙන් බුදුන්ගෙන් දේවල් ඉල්ලන්නේ නැතුව, ගමනක් බිමනක් යද්දී දේවාලවලට පඬුරු දාන්නේ නැතුව, ජයසිරිමා බෝධියට මල් වට්ටි පූජා කරන්නේ නැතුව, රුවන්වැලි සෑයට, සිරීපාදෙට, දළදා මාලිගාවට අභියෝග කරන්න පුළුවන්, ඒ සම්බන්ධව තර්ක කරන්න පුළුවන් ඕනෙ කෙනෙක් මේ වැඩේට අමතර සුදුසුකම් තියෙන අය විදියට අපි සලකනවා. මේ හැම දේම අපි කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු ඇදහිලි, පුද සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස. මේ හැම දේකම යම්කිසි ගෝත්‍රික බවක් තියෙනවා. ඒක ඇත්ත. සංගගේ බිරිඳ කියන කතාව පට්ට ගොං කියලා ඕනෙ කෙනෙකුට තේරෙනවා. ඇත්තටම සංගා ක්‍රිකට් ගැහුවේ දක්ෂතාව මත. සංගගේ ජයග්‍රහණ තියෙන්නේ ක්‍රිකට් මත. සංගක්කාර විතරක් නෙවෙයි අපේ රටේ ඉන්න හැම ක්‍රීඩකයෙක්ම තමන්ගේ දක්ෂතාව මත කැපකිරීම් කරලා තමයි මෙතැනට ඇවිල්ලා තියෙන්නේ. සංගක්කාර සම්බන්ධව මේ කතාව ඒ විදියම තමයි. සංගක්කාර අනෙක් අයටත් වඩා කැපකිරීම් කරපු කෙනෙක් කියලා අපි අහලා තියෙනවා. ඔහු තනියම බෝල 300කට විතර මැෂින් එක ඉස්සරහා ප්‍රැක්ටිස් කරන ක්‍රීඩකයෙක් කියලා කියනවා. තමන්ගේ පහරවල් ගැන ඔහු ඉතා හොඳින් හිතන කෙනෙක් කියලා අපි අහලා තියෙනවා. හැබැයි ඒ අස්සේ සංගාගේ බිරිඳට දෙවියන් අදහන්න විශ්වාස කරන්න ඇදහිලි පුදසිරිත් චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්න කිසිම තහනමක් තියෙනවා කියලා අපි හිතන්නේ නෑ. ඒ වගේම සනත් ජයසූරියට තමන්ගෙ අතේ පිරිත් නූල් බැඳගෙන ඉන්නත් එහෙම තහනමක් තිබුණේ නෑ. සනත්ට පිරිත් නූල් බඳින්න පුළුවන් නම් ඇයි සංගගේ බිරිඳට දෙවියෝ අදහන්න බැරි? ඇයි භානුක රාජපක්ෂට බැරි දෙවියෝ ගාවට යන්න? අනෙක් හැම ක්‍රීඩකයෙක්ටම තමන්ගෙ දෙවි කෙනෙක් ඉන්නවා. තමන්ගේ ආගමක් තියෙනවා. තමන්ගේ ඇදහිලි පුද සිරිත් චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස කියලා ජාතියක් තියෙනවා. අපි අනාදිමත් කාලයක සිට මේවා පවත්වාගෙන ආපු උදවිය. අපේ ගම්මානවල දේවාල තියෙනවා. අපේ ගම්වල පන්සල් තියෙනවා. සමහර ගම්වල පල්ලි තියෙනවා. සමහර ගම්වල කෝවිල් තියෙනවා. සමහර ගම්වල මුස්ලිම් පල්ලි තියෙනවා. මේවා කිසි එකක් වහලා දාලා නෑ. මේවා කිසි එකක් අහෝසි කරලා නෑ. මේ කිසි එකක් අනවශ්‍යයි කියලා අයින් කරලා නෑ. මේ සියල්ලම අපි එදා සිට මේ දක්වා පවත්වාගෙන එනවා. ඒ කොහොමද? ඒ ඇයි? මුකුත් නෙවෙයි ඒවාට වැඳුම් පිදුම් කරන්න මිනිස්සු ආපු නිසා.
අහසෙ දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක තර්කානුකූලයි. ඒක නෑ කියන එක තමයි වඩාත් සුදුසු. ඒත් එහෙම නෑ කියලා කියන්න තරම් අපට සාක්ෂි නෑ. එහෙම තත්ත්වයක් යටතේ සංගගේ බිරිඳ කියපු කතාව ගොං තමයි. හැබැයි අපි ඊට වඩා ගොං. ඒ නිසා දෙවියන් වැඳිලි, ඇදහිලි, විශ්වාස, පුද සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර අස්සේ අපට අන්තිමට විමලරත්න කුමාරගමේ කවිය තමයි කියන්න තියෙන්නේ.
‘මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම’ කියලා. ඒ නිසා සංගගේ බිරිඳට ගල් ගහන්න කලින් කණ්ණාඩියකින් මූණ බලන්න. ඒ කණ්ණාඩියේ ඉන්න කෙනත් සංගගේ බිරිඳ වගේම වෙන විදියකට දෙවියෝ වඳින, විශ්වාස කරන කෙනෙක් නිසා. ඒක නිසා දෙවියන්ගේ පිහිටයි, බුදු සරණයි, ජය වේවා…
ජීවන පහන් තිළිණ






