පහුගිය සතියම ගතවෙන්නේ රෙද්දක් අල්ලගෙන. රෙද්ක කියන්නේ මේ ගුරුවරුන්ගේ රෙද්ද මොන රෙද්දක්ද මංදන්නෙ නෑ’ කියලා සාමාන්‍යයෙන් ගම්වල කියනවනේ. ඉස්සර මිනිස්සු සමහර වෙලාවට අවදානමක් අරගෙන යමක් කරන්නේ ඕනෙ රෙද්දක් වුණාදෙන් කියලා හිතාගෙන. හැම රෙද්දටම කට දාන්න එපා කියලා සමහර වෙලාවට ගමේ උදවිය කියනවා. ඒ වගේම ඇතැම් තැන්වලදී අපි කියන කතාවක් තමයි අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්න එපා කියන එක. ඒක නිසා මේ රෙද්ද කියන වචනය අපේ මිනිස්සු එක්ක බොහොම විශාල බැඳීමක් තිබිච්ච වචනයක්. ඉස්සර අපි පිරිමි ගැන කිව්වත්, අපි කිව්වේ රෙද්දයි බැනියමයි ඇන්ද සිංහලයෝ කියලා. හම්බවුණේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන එක අපි හැඳිනුවේ උන්ට අන්දන රෙද්දෙන්. ඒ කියන්නේ සරමක්ද, කම්බායක්ද කියලා. එතකොට මේ සියල්ලත් එක්කම බලද්දී අපට තේරෙන දේ තමයි අපි මහ රෙද්දේ ජාතියක් කියන එක. අපට රෙද්දත් එක්ක ලොකු බැඳීමක් තිබුණා. දැන් ඒ පාර මොන රෙද්දක්ද කියන්න යන්නේ කියලා කියවන ඔබ හිතයි. ඔව්, මේ කියන්න යන්නෙත් එහෙම රෙද්දක් ගැන තමයි. පහුගිය සතියෙම අපි රෙද්දක් අල්ලගෙන දැඟලුවා. ඇත්තටම අපි රෙද්දෙ සංස්කෘතියක් තියෙන ජාතියක් කියලයි අපට හිතෙන්නේ. මොකද අපි හැම වෙලාවෙම රෙද්දට තමයි වැන්දේ. රෙද්දට තමයි ගරු කළේ. රෙද්දෙ තමයි අභිමානය තිබුණේ. අනෙක් රටවල මිනිස්සු තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න, ශරීරට බොහොම පහසු රෙදි ඇන්දට අපි රෙදි ඇන්දේ අපේ සංස්කෘතිය වහගන්න. මොකද සංස්කෘතිය කියලා කියන්නේ අපේ රෙද්ද අස්සේ තියෙන එකක් කියලා තමයි අපි හිතාගෙන හිටියේ.
ගුරුවරු මේ රෙද්ද වෙනස් කරලා. මේ රෙද්ද කියලා කියන්නේ සංස්කෘතිය කියන රෙද්ද නෙවෙයි, ඒගොල්ලන්ගෙ ඇඳුම. රෙද්ද වෙනස් කළා කිව්වම අපේ රටේ ගොඩක් කට්ටිය එක එක රෙද්දවල් හොයන්න යන පුරුද්දත් හිස දරාගෙනම විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් දැන් කියනවා ඒ විදියේ ඇඳුම් ඇන්ද එක වැරැදියි, ඒ විදියට කතා කරපු එක වැරැදියි වගේ කයි කතන්දර ටිකක්. එතකොට දැන් මොකක්ද මේ රෙද්ද? ඒක ගුරු මහත්ම මහත්මීන්ට නියමිත ඇඳුමක් මේ රටේ නියම කරලා තියෙනවද කියන එක සම්බන්ධවත් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ කට්ටිය ඇඳින්නේ නිල ඇඳුමක් නෙවෙයි. ඒගොල්ලෝ අඳින්නේ එක්තරා ඇඳුම් විශේෂයක්. ඒ ඇඳුම සාරිය. ඉස්කෝලෙ ගුරුවරුන්ට සාරිය, ඔසරිය කියන ඇඳුම් දෙකම ඇඳගෙන එන්න තහනමක් නෑ. ඒ වගේම අපි දන්නා තරමින් නම් ඉස්කෝලවල ගුරුවරුන්ට සාරිය හෝ ඔසරිය ඇඳගෙන එන්න කියලා නීතියකුත් නෑ. එතකොට එපා කියලත් නෑ, ඇඳන් එන්න කියලත් නෑ. වෙන ඇඳුමක් ඇඳගෙන එන්න එපා කියලා නැත්නම්, වෙන ඇඳුමක් ඇඳගෙන ආවාට ප්‍රශ්නයක් තියෙන්න විදියකුත් නෑ. හැබැයි හදිසියේ මේ රෙද්ද වෙනස් කිරීම සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව කියලා කියන්නේ සමකය ආසන්න රටක්. සමකය ආසන්න රටක තියෙන සාමාන්‍ය ස්වභාවය තමයි වැඩි කාලයක් දැඩි උෂ්ණත්වයක් දැනෙනවා මේ රටේ. සමහර කාලවල සෙල්සියස් අංශක 32, 33, 34 වගේ සීමාවට උෂ්ණත්වය එනවා. විශේෂයෙන්ම අනුරාධපුර සහ කුරුණෑගල කියන ප්‍රදේශවල මේ උෂ්ණත්වය තවත් ටිකක් වැඩි වෙනවා. උෂ්ණත්වය අඩුවෙන් තියෙනවා නම් තියෙන්නේ නුවරඑළිය වගේ දිස්ත්‍රික්ක කිහිපයක විතරයි. නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල වගේ දිස්ත්‍රික්කවල නම් ඇතැම් වෙලාවට සෙල්සියල් අංශක 18, 19, 20 වගේ සීමාවක දිවා කාලයේ සාමාන්‍ය සීතලක් රැඳිලා තියෙන බව අපට දකින්න ලැබෙනවා. නමුත් මේ තත්ත්වය පොදුවේ ලංකාව පුරා දකින්න ලැබෙන දෙයක් නෙවෙයි. එතකොට සමක ආසන්න රටක් වෙච්ච ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය දැඩිව දැනෙනකොට දාහය දැඩිව ඉවසාගෙන මේ උණුසුමට ඔරොත්තු නොදෙන තරමේ ඇඳුම් ඇඳගෙන ඉන්න ඕනෙද කියන එක අපට අහන්න හිතෙන ප්‍රශ්නයක්. හැබැයි අපි එහෙම ප්‍රශ්නයක් ඇහුවට ඒකට විවිධ ආකාරයේ උත්තර දෙන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. කාන්තාවන්ගේ සාරිය ඔසරිය නෙවෙයි පිරිමින්ගේ ටයි කෝට් එක පවා ඇත්තටම ප්‍රශ්න කරනවා නම් ප්‍රශ්නයක්. මොකද බටහිර ජාතීන් සපත්තු මේස් දැම්මේ දැඩි සීත කාලෙට ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කරගන්න. ඒගොල්ලන්ට ටයි එකක් දාලා කොලර් එක ගාවින් බොත්තම් දාලා වහගන්න සිද්ධ වුණා. අඳින කමිසයට විතරක් මේ සීතල දරාගන්න බැරිව ගිය නිසා ජැකට් එකක් දාන්, කෝට් එකක් දාන්න සිද්ධ වුණා. මේ සියල්ලම අද අපි කරනවා. හැබැයි දැඩි දාහය ඉවසාගෙන කෝට් දාගෙන දාඩිය පෙරාගෙන සපත්තු මේස් දාගෙන බයිසිකල්වල යන ඇතැම් නිලධාරීන් ලියුම්කරු දැකලා තියෙනවා. අන්න ඒ මිනිස්සුන්ටයි නිදහස දෙන්න ඕනෙ.
මේ සාරිය හා ඔසරිය ගැන කතා කරන්න අවශ්‍යමයි මේ වෙලාවේ. ගුරු මහත්මීන් තමන්ට කැමැති ඇඳුමක් ඇඳගෙන ඉස්කෝලෙ ගිය එක ගැන ප්‍රශ්න කරන්න අපට අදාළ නෑ කියලා සමහර වෙලාවට හිතෙනවා. මොකද හේතුව, පත්තරකාරයෝ විදියට අපි කවදාවත් නිල ඇඳුමක් ඇඳලා නෑ. ඒ නිසා අපට නිල ඇඳුමක හොඳවත්, නරකවත් තේරෙන්නේ නෑ. ගුරුවරු අඳින්නේ නිල ඇඳුමක් නොවුණත් ඒ අයටම වෙන්වුණු එක්තරා ඇඳුම් කාණ්ඩයක් තියෙන නිසා, ඒ ඇඳුම් කාණ්ඩයට ඒ අය කැමැතිද, අකැමැතිද කියන එක ගැන තර්ක කරන්න අපට තේරෙන්නේ නෑ. ඒ වගේම ඒ ඇඳුම ඒ අය ඇඳිය යුතුයිද, නැද්ද කියන එක ගැනත් අපි කියන්නේ නෑ. ඒකට හේතුව මෙතැනට අපේ මතය වැදගත් නොවන නිසා. අපෙන් අපේ මතය කවුරු හරි කෙනෙක් අහනවා නම් ඇත්තටම ඔයාලා මොකක්ද මේකට දරන මතය, මොකක්ද ඔයාලා මේ ගැන කියන්නේ කියලා, ඒක කියන්න අපි ලෑස්තියි. හැබැයි ඒක මේ වෙලාවේ මෙතැන කියලා වැඩක් නැති නිසා කියන්න යන්නේ නෑ. හැබැයි සාරියයි, ඔසරියයි කියන්නේ අපේ ඇඳුමක්ද? ඒකත් අපි ඉස්සෙල්ලම හොයලා බලන්න එපායැ. මේක අපේ සංස්කෘතිය කියලා කියනවා නම්, මේවා අපේ ඇඳුම් වෙන්න ඕනෙ. ඇත්තටම සාරිය අපේද? අපි දන්න තරමින් සාරිය කියන්නේ ඉන්දියානු ඇඳුමක්. ඉන්දියානු සංස්කෘතියේ ප්‍රධාන සංකේතයක් වගේම මේක ඉන්දියානු ද්‍රවිඩ ජනතාව තමන්ගේ ප්‍රධාන ඇඳුම විදියට, තමන්ගේ සාම්ප්‍රදායික ඇඳුම විදියට අඳින එකක්. අපි දන්නවා සාම්ප්‍රදායික ඉන්දියානුවන්ගේ ඇඳුමක් විදියට සාරිය පිළිගන්න පුළුවන්. එතකොට ඔසරිය? ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ඔසරිය කියලා කියන්නේ අපේ රටේ තියෙන උඩරට ඇඳුම කියලා. ඇත්තටම උඩරට නිලමෙලාගේ බිසෝවරු ඔසරිය ඇන්ද බව ඇත්ත. උඩරට රජවරුන්ගේ බිසෝවරුත් ඔසරිය ඇන්ද බව ඇත්ත. හැබැයි ඇත්තටම මේ ඇඳුම අපේ ඔසරිය අපේද කියන එක සම්බන්ධව ප්‍රශ්න කරද්දී අපට දැනගන්න ලැබෙන කාරණාව තමයි ඔසරිය කියන්නේ නායක්කාර් වංශිකයන්ගේ ඇඳුම. එතකොට මේ නායක්කාර් වංශිකයෝ කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට නෙවෙයි. නායක්කාර් වංශිකයන් කියන්නේ අපේ රටේ නුවර යුගයේ රජකම් කළ පරදේශක්කාර රජවරුන් පිරිසක්. ඒ අයට බිසෝවරුන් නායක්කාර් දේශයෙන් රැගෙන ආ බවත්, ඔවුන් ඇඳගෙන ආපු ඇඳුම තමයි ඔසරිය නැත්නම් ඔහොරිය කියලා කියන්නේ. මේ ඔහොරිය අපි අපේ ඇඳුම බවට පත්කරගත්තේ උඩරට ප්‍රභූවරුන්ගේ බිරින්දෑවරු, රාජකීය ඔසරිය අඳින්න කැමැති වුණු නිසා ඒ නිසා ඒ ඇඳුම ටික කාලයකින් අපේ සාම්ප්‍රදායික ඇඳුම බවට පත්වුණා. විශේෂයෙන්ම මේ උඩරට ඇඳුම නිසා ඒකට අපි ටිකක් වැඩිපුර සලකන්නත් පුරුදු වෙලා තියෙනවා. මේ විදියට ගත්තට පස්සේ ඇත්තටම මොකක්ද අපේ ඇඳුම? ඒක ලොකු ප්‍රශ්නයක්.
පිරිමි උදවියගේ ඇඳුම ගැනත් අපට ටිකක් එහෙන් මෙහෙන් කතා කරන්න තියෙනවා. පිරිමි උදවියගේ ඇඳුම මොකක්ද ඇත්තටම? ඒකත් තර්ක කරන්න ඕනෙ ප්‍රශ්නයක්. අපි අඳින්නේ සාමාන්‍යයෙන් කලිසම සහ කමිසය. එතකොට මේක අපේ සංස්කෘතියට අයිති නෑ කියන එක ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන්. අපේ ඇඳුම ඇත්තටම සරමද? සරම කියලා කියන්නේ මැලේ ඇඳුමක්. එතකොට සිංහලයගේ ඇඳුම සරමක් නෙවෙයි නම්, අපේ පැරැන්නන් ඇන්ද ඇඳුම කියලා අපි කිව්වේ රෙද්ද සහ බැනියම. රෙද්ද බැනියම කියන්නේ සරම නොවන රෙද්දක්. ඒ නිසා අපි ඉස්සර කිව්වා රෙද්ද අස්සේ මහත්තයා කියලා. ඒ කියන්නේ කලිසම ඇඳලා ඊට උඩින් රෙද්ද ඇන්ද පරම්පරාවක් අපේ රටේ ඉඳලා තියෙනවා. මේ අයත් අපේ මේ සාරි ඔසරි අඳින අයත් මේක අපේ සාම්ප්‍රදායික ඇඳුම කියලා හිතාගෙන හිටියට ඇත්තටම අපේ සාම්ප්‍රදායික ඇඳුම ඒකද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය විය යුත්තේ අපේ සාම්ප්‍රදායික ඇඳුම මොකක්ද කියන එක.
අපේ ගුරු මහත්මීන් පස්සේ ඇඳගෙන ගිය ඇඳුමත් අපේ සාම්ප්‍රදායික ඇඳුමක් නෙවෙයි. ගවුම කියලා කියන්නේ බටහිර ඇඳුමක්. විදේශීය ඇඳුමක්. ඔය අඳින දිග ටොප් එක සහ කලිසම සල්වර්, පන්ජාබ් කියන ඇඳුම්වලට සමානකම් තියෙන, ඒවායේ යම් යම් කොටස් ඉවත් කරලා සකසා ගත්තු ඇඳුමක් විදියට පිළිගන්න පුළුවන්. එතකොට ඒකත් අපේ ඇඳුමක්ය කියලා කියන්න බෑ. බලාගෙන ගියාට පස්සේ අපට කියලා ඇඳුමක් නෑ. දැන් මේ රටේ පාලකයෝ කරන දේවලුත් එක්ක අපට රෙදි නෑ තමයි. අපි ලෝකෙ ඉස්සරහා ගිහින් කතා කරන්න නැතුව ගියාම, රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න බැරුව ගියාම අපට රෙදි නෑ කියන එක ටිකක් සතුටින් කියන්න පුළුවන් කාරණයක්. කොහොම නමුත් ඇත්තටම අපේ ඇඳුම මොකක්ද කියලා අපට හොයන්න සිද්ධ වෙනවා. අපේ ඇඳුම මොකක්ද? ඔබ යෝජනා කරන්න. කුවේණිය කපු කටිමින් හිටියාය කියනවා විජය රජ්ජුරුවෝ ලංකාවට එද්දී. ඒ කියන්නේ විජය රජ්ජුරුවෝ ලංකාවට එන්න කලින් අපේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ ඉතිහාසයක් අපට තිබිලා තියෙනවා. ඒක නිසා සිංහලයා කියලා කියන්නේ කොළ අතු ඇඳගෙන එහෙ මෙහෙ දිව්ව ජාතියක් නෙවෙයි. හැබැයි සිංහලයාගේ ඇඳුම මොකක්ද කියන එක සම්බන්ධව හොයලා බලද්දී සීගිරි අප්සරාවන් ඇඳගෙන හිටිය ඇඳුම තනපට සහ දෝතිය කියන ඇඳුම යම් ආකාරයකින් ශ්‍රී ලාංකිකයාගේ ඇඳුම විය හැකියි කියලා අපට කියන්න පුළුවන්. නමුත් මේ දෝතිය කියන ඇඳුමත් ඉන්දීය සම්භවයක් සහිත එකක් කියලයි අපි පිළිගන්නේ. විශේෂයෙන්ම සීගිරි ලෙනේ චිත්‍රවලට සමාන සිතුවම් අජන්තා ලෙනේ තියෙන නිසා අපට මේ ඇඳුමත් අපේ ඇඳුමක්ය කියලා 100%ක් කියන්න පුළුවන්කමක් නෑ.
එතකොට මේ තනපට බැඳීමේ සම්ප්‍රදායන් විවිධාකාරයෙන් වෙනස් වෙනවා. තනපට කියලා කියන්නේ පපුව වසාගැනීම සඳහා භාවිත කරන ලද වැස්මක්. දැන් නම් තනපට අපට කඩෙන් මිලදී ගන්න පුළුවන්. ඒවායේ මිල ගණන් විවිධයි. ඒ ඒ ප්‍රමාණයෙන් ඒ ඒ ආකාරයෙන් මිලදී ගන්න පුළුවන් නිසා අපි ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඒ ගැන නොදන්න උදවිය දන්න අයත් එක්ක කතා කරලා දිග පළල මැනලා ඕනෙ එකක් හොයාගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. කොහොම නමුත් අපේ ආදිවාසී ජනතාව මේ තනපට බැඳීම වෙනත් සම්ප්‍රදායික ක්‍රමයකට කරගෙන යනවා. ඒ තනපට බැඳීමත් උඩරට සම්ප්‍රදායේ හැට්ට ඇඳීමත් අතර නෑකමක් තියෙනවාය කියන එක පිළිගැනීමේ හැකියාව තිබුණත් මේ සීගිරි ලෙනේ චිත්‍රවල කාන්තාවන්ගේ තනපට සහ මේ තනපට යම් ආකාරයක වෙනස්කමක් දරනවා. එතකොට සමහර වෙලාවට අපේ පුරාණ සංස්කෘතිය ඇතුළේ තිබුණු ඇඳුම මේ තනපට බැඳීම සහ රෙද්ද ඇඳීම වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒකට එකතු කරන ලද මනිමේඛලාව නැත්නම් ඉණට බඳින ලද පටිය, දෑතට දාන ලද ආභරණ කියන මේවා අපේ සංස්කෘතියේ ලක්ෂණ වෙන්නට ඇති. කොහොම නමුත් ඕවා ඇඳගෙන ගරුවරු නම් ඉස්කෝලෙ යයි කියල හිතන්න බෑ. ඒත් අපේ බලධාරීන් කිව්වොත් ඕක තමයි අපේ සිංහල ඇඳුම, ඕක ඇඳගෙන ඉස්කෝලෙ යන්න කියලා. මොකද අපි හෙළ ජාතික අභිමානේ කරේ තියාගන්න ජාතියක්නේ. පොඩ්ඩ බැරිවුණු ගමන් අපට අපේ ජාතික අනුරාගය, අපේකම මතක් වෙන්න පටන්ගන්නවා. මොකද දැන් ඡන්දෙකුත් ළඟ එන හින්දා මේ ජාතිකානුරාගයෙන් ඔදවැඩිච්ච අයට ජාතිකානුරාගය මතක් වෙන කාලයක්. දේශපාලකයෝ සරම් කමිස ඇඳගෙන ඡන්දෙට ආවේ ඒක අපේ ඇඳුම හින්දා නෙවෙයි. ඒක කපටි සූට් එකක් හින්දා. ඒක ඇන්දම මිනිස්සුන්ව රවට්ටන්න ලේසි හින්දා. අපට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා. ඇඳුම නෙවෙයි වැදගත් වෙන්නේ. ඇඳුම ඇතුළේ ඉන්න මිනිහා. ඇඳුම ඇතුළේ ඉන්න කෙනා හොඳද නරකද කියන එක මිස, ඇඳුමේ හොඳ, ඇඳුමේ ලස්සන කියන එකෙන් මිනිස්සු මනින්නේ නැතුව හිටියා නම් තමයි වඩාත් ගැළපෙන්නේ.
ඒ වගේම යම්කිසි විදියකින් සම්ප්‍රදාය වෙනස් කරන්න ගිහින් තියෙන සම්ප්‍රදායත් කැඩිලා බිඳිලා විනාශ වෙලා ගිහින් අපේ තියෙන ගරු කිරීම්, සැලකිලි, අභිමානය සියල්ලම නැතිවෙලා යනවද, එහෙම නැත්නම් වැදගත්ම මාතෘකාව මේකෙ අවසානයේදී ඔබට කියන්න සිද්ධ වෙනවා. ඒක මේ එක රෙද්දකටවත් අදාළ නැති කතාවක්. ඒක තමයි අවසාන වශයෙන් ආචාර්ය මණ්ඩල ටික දෙකට බෙදිලා, ගුරුවරු දෙකට බෙදිලා, ඉස්කෝල ඇතුළේ ප්‍රශ්න ඇතිවෙලා, ගුරුවරු ටික ප්‍රශ්නෙකට හිරවුණොත් අනේ කාලේ වනේ වාසේ කියලා අසරණ වෙන්නේ අපේ දරුවෝ. එතකොට අපට කියන්න තියෙන්නේ මේ අහක යන නයෙක් තමයි අපි මේ රෙද්ද අස්සේ දාගත්තේ කියලා. ඒක නිසා එක එක රෙද්දවල් ගැන හිතන්නේ නැතුව අපි අපේ රට කරගෙන යමු. කොහොම නමුත් අපි හොයමු මොකක්ද අපේ රෙද්ද කියලා තවදුරටත්. අපි ඒ සඳහා මේ ලිපිය විවෘත කරනවා. ඔබට පුළුවන්කම තියෙනවා අපේ රෙද්ද මොකක්ද කියන එක සම්බන්ධව යෝජනා කරන්න, තර්ක විතර්ක කරන්න සහ අදහස් ඉදිරිපත් කරන්න. එතෙක් අපි බලාගෙන ඉමු මොකක්ද මේ ප්‍රශ්නෙට ඊළඟට වෙන්නේ කියලා.
ජීවන පහන් තිළිණ






