බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශිය සිසුන් සඳහා සීමා පනවන්න එහෙම නැත්තම් Student Visa වලට විවිධ සීමාවන් හඳුන්වා දෙන්න රිෂි සුනක් ඇතුළු බ්‍රිතාන්‍යය රජයේ අවධානය යොමු වෙලා තියනවා කියලා බ්‍රිතාන්‍යය මාධ්‍ය වගේම ලංකාවේත් මාධ්‍ය කිහිපයක වාර්තා කරා. ඒ එක්කම කීප දෙනෙක්ම මේ මොකක්ද කියන එක ගැන මගෙන් විස්තර ඇහුවා.
බොරිස්ගේ ආණ්ඩුව පෙරලිච්ච වෙලාවේ ඉඳලම ලිස් ට්‍රස් අග්‍රාමාත්‍යවරියත් දැන් සුනක් අග්‍රාමාත්‍යවරයාත් මේ Student Visa ප්රශ්නය ගැන ලොකු අවධානයක් යොමු කරනවා. මේ ගැන කලින් වතාවකත් බ්‍රිතාන්‍යය මාධ්‍ය උපුටා දක්වමින් මම විස්තරයක් ලිව්වා. ඒ වෙලාවේ සුරංගනා කතා කියලා මෙහේට ළමයි පටවන ඒජන්ට්ලා කීප දෙනෙකුයි ලඟදි මෙහේට ආපු මහදැනමුත්තෙකුයි පස්පඩංගුවේ මට බැණ බැණ මාත් එක්ක පැටලුනා. හැබැයි ආයේ ආයේ මෙහේ ප්‍රධනම මාධ්‍ය ඒ ගැන ලියන නිසා මාත් ආයේ ඒක ලියනවා.
මේ කතාව ආයේ උඩ මතු වෙන්නේ පහුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල එක්සත් රාජධානියට සිදුවූ ශුද්ධ සංක්‍රමණ ප්‍රමාණය 507,000 බවට ජාතික සංඛාලේඛන ආයතනය වාර්තා කිරීමත් එක්ක. ඒ සංඛාව ඉතිහාසයේ වසරක් තුල මෙරටට සිදුවූ වැඩිම ශුද්ධ සංක්‍රමණ සංඛාව විදියට තමයි සැලකෙන්නේ. 507,000 කියන ගණන සංසන්දනාත්මකව ගත්තොත් එංගලන්තයේ ලිවර්පූල් කියන ප්‍රදේශයේ ජීවත් වන ජනගහනයටත් වඩා වැඩියි කියලා තමයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරන්නේ.
ශුද්ධ සංක්‍රමණ විදියට එක්සත් රාජධානිය ගණන් හදන්නේ වසරක් තුල මෙරටට නේවාසික වීසා මත නීත්‍යානුකූලව ඇතුළු වූ පිරිස සහ මෙහෙන් පිටවෙලා ගිය පුද්ගලයන් අතර වෙනස. ගෙවුනු වසරේ එම පිරිස අතරට යුක්රේන හා පකිස්තාන සරණාගතයන් වගේම හොංකොං හී සිට පැමිණි 70,000ක් පමණ පිරිසත් ඇතුලත් වෙනවා. ඒ අතරේ අධ්‍යයන වීසා (Student Visa) මත ආපු සංඛාව 277,000 ක් හෙවත් 39% ප්‍රතිශතයක්.
මේ නිසා තමයි නැවත වතාවක් රිෂි සුනක්ගේ රජයේ අවධානයත් මේ වෙත යොමු වෙන්නේ. පුවත සනාත කරමින් නොම්බර 10, ඩවුනින් වීදිය අග්‍රාමාත්‍ය කාර්‍ය්ලයේ ප්‍රකාශකයෙකු බ්‍රිතාන්‍යය මාධ්‍ය වෙත ප්‍රකාශ කරලා තිබුනේ ශිෂ්‍ය වීසා සංඛාව පහත හෙලීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවූ බවයි. ඒ සඳහා ශිෂ්‍යන් සමඟ පැමිණෙන යැපෙන්නන්( Dependence) සංඛාව සීමා කිරීමට හෝ අඩු ගුණාත්මක (Low quality) උපාධි වෙත විදේශීය ශිෂ්‍යන් ඇතුල්වීම සීමා කිරීම යන කාරණා දෙක ගැන ඔවුන් අවධානය යොමු කරලා තියනවා.
මීට කලිනුත් ස්වදේශ කටයුතු ලේකම් සුඑල්ලා බ්රර්වමන්නුත් ඔය ගැන කතා කරලා තිබුනා. සමහර ශිෂ්‍යන් යැපෙන්නන් 6 දෙනෙක් දක්වා මෙරටට රැගෙන ඒම සාධාරණ නොවන බව තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. සංක්‍රමණ වැඩිවීමත් සමඟ අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස හා නවාතැන් වගේ පොදු පහසුකම් සැපයීම කෙරෙහි විශාල තදබදයක් ඇතිවී තියන නිසාත් ස්වදේශිකයන්, විදේශ සංක්‍රමණිකයන් සීමා කිරීමක් ගැන රජයෙන් බලාපොරොත්තු වන නිසාත් වසරකට ශුද්ධ සංක්‍රමණ 100,000 ක් දක්වා අඩු කරන්න ඕනි කියන දැඩි ස්ථාවරයේ නැවත කටයුතු කරන්න ස්වදේශ කටයුතු ලේකම්වරිය තීරණය කරලා තියනවා.
මීට පෙර හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් තමයි ශුද්ධ සංක්‍රමණ අඩු කිරීමේ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නේ . එහි ප්‍රතිඵලයක් විදියට තමයි එම ප්‍රතිපත්තියට සහාය දෙමින් එවකට හිටපු ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මේ 2012 වසරේදී විදේශිය ශිෂ්‍යයන් සඳහා හඳුන්වා දී තිබූ PSW වීසා ක්‍රමය අවලංගු කරන්න තීරණය කරන්නෙත්. කෙසේ වෙතත් මෙරට ව්‍යාපාර වලට අවශ්‍ය කුසලතා ශ්‍රමය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් බොරිස් ජොන්සන් නැවත එම වීසා ක්‍රමය හඳුන්වා දුන්නා.
කොහොම උනත් Student Visa මත සීමා පැනවීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ මතයකුත් මේ වන විට මතුවෙලා තියනවා. Student Visa කියන්නේ රටේ ආගමන ප්‍රතිපත්තියක් විතරක් නෙමෙයි අධ්‍යාපන ප්‍රතිපත්තියකුත් වන බව තමයි ඔවුන් තර්ක කරන්නේ. විදේශීය ශිෂ්‍යන් සීමා කිරීමට තීරණය කිරීම බොහෝ විශ්ව විද්‍යාල බංකොලොත් වීමට පවා හේතු විය හැකි බව එම විවේචකයන් ප්‍රකාශ කරනවා.
විදේශීය ශිෂ්‍යන් සීමා කරන්න රජය තීරණය කරොත් ලන්ඩන්, කෙම්බ්‍රිජ්, ඔක්ෆර්ඩ් වගේ විශ්ව විද්‍යාල ඇරෙන්න අනෙක් විශ්ව විද්‍යාල රැසකට මුල්‍ය ගැටළු වලට මුහුණ දෙන්න වෙයි කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ජාත්‍යන්තර සිසුන්ගෙන් ලැබෙන මුදල් අහිමි උවහොත් දේශිය සිසුන්ට ගෙවන්න වෙන ගාස්තු ඉහළ යාමේ අනතුරක් පවතින බවත් ඔවුන් අණතුරු අඟවනවා. 2020/21 වසර සඳහා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වල ජාත්‍යන්තර සිසුන් 605,130 ක් අධ්‍යාපනය ලබා ඇති අතර එම වසර සඳහා ඔවුන්ගේ මෙරට විශ්ව විද්‍යාල ලද ආදායම පවුම් බිලියන 9.95 ක් බවත් උසස් අධ්‍යාපන සංඛාලේකන මූලාශ්‍ර දක්වා සිටිනවා.
කොහොම උනත් Student Visa මත මොනයම්ම හෝ ආකාරයක සීමාවන් පනවන්න තියන ඉඩකඩ ඉතා ඉහළයි. ඒ නිසා දඩිබඩි ගාලා කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් කියන දේවල් අහලා තීරණයක් ගන්න කලින් තොරතුරු හොඳට හොයලා බලන්න. මොකද අපි හොඳටම දන්නවනේ ලංකාවෙන් එන අය එන්නේ ඉගනගෙන ආපහු යන්න බලාගෙන නෙමෙයි ඔය තීරණය Lifetime තීරණයක් කියන එක.
තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.






