‘අම්මෝ පොලීසියද… පොලීසිය නම් ඉතිං මොනවද ආයෙ අහන්න දෙයක් නෑ…’ ඕක තමයි අපි පොලීසිය ගැන කියපු ගමන් අපේ හිතට එන කතාව. ගොඩක් අය එහෙම තමයි කියන්නේ. අපි පොලීසියේ වැරැදි ලියනවා, ලියනවා ඉවරයක් නෑ. පොලීසියේ නරකම ලියලා ලියලා පොලීසියේ කිසිම මනුස්සකමක් නැති මිනිස්සු ඉන්න තැනක් කියලා අපටත් හිතෙන්න පටන් අරගෙන. ඇත්තටම එහෙමද? ඒක එහෙමද කියලා මේක කියවලා ඔබම තීරණය කරන්න. හැබැයි මේ ලියන්න යන්නේ පොලීසිය අත්අඩංගුවට ගත්තු කෙනෙක් පොලීසියට ඇවිල්ලා බේරගෙන යන්න බලපෑම් කරපු කෙනෙක් ගැන. පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා නම් කෙනෙක්ව, ඒ කෙනාව නිදහස් කරන්න පොලීසියට ක්‍රමවේදයක් තියෙනවා. ඇයි මේ එක එක්කෙනාගේ බලපෑම්වලට පොලීසිය හැමදාම යටවෙන්නේ? කාගෙ බලපෑමටද පොලීසිය මේ පාර යටවෙන්න ඇත්තේ? කවුද මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයව බේරාගන්න එන්න ඇත්තේ? අන්න ඒක පොඩ්ඩක් හොයන්න ඕනෙ මාතෘකාවක්. මොකද පොලීසියට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා, පොලීසියෙන් තව කෙනෙක්ව නිදහස් කරගෙන යනවා නම් ඒක සෙල්ලමක් නෙවෙයිනේ. නීතිය හැමෝටම සාධාරණ විය යුතුයි. ඒක තමයි මේ රටේ තියෙන සාමාන්‍ය සම්ප්‍රදාය. ෂුවර් එකටම ඇමැති කෙනෙක් වෙන්න ඇති. නැත්නම් මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇති. ප්‍රාදේශීය සභාවක හරි පළාත් සභාවක හරි පොරක්ද දන්නෙත් නෑ. හැබැයි සල්ලිකාර ව්‍යාපාරිකයොත් ඉන්නවනේ එහෙම දේවල් කරන්න පුළුවන්. ඇයි නළු නිළියෝ? නළුවෝ කෙසේ වෙතත් නිළියෝ. එහෙට මෙහෙට පද්දලා ආපුවාම කවුද අනේ ඉතින් එහෙම තත්ත්වෙකට නොවැටෙන්නේ? පොලීසියෙ ඉන්නේ මනුස්සයොනෙ නේද? ඇයි උසස් පොලිස් නිලධාරීන්? අර පොලිස්පතිකම ගන්න බලාගෙන ඉන්න කට්ටිය. ලැජ්ජ බය නැතුව තැන් තැන්වල ලගින්න යන කට්ටිය. ඔය තිළිණි ප්‍රියමාලිලා වගේ අයත් එක්ක ළඟින් ඇසුරු කරපු කට්ටිය. ඒගොල්ලන්ගෙනුත් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. හරි. එක එක්කෙනා ගැන කිය කිය ඉන්නෙ නැතුව හරියටම කියන්නකො කවුද කියලා නේද? වැඩේ වෙන්නේ බුලත්සිංහල. පොලීසිය බුලත්සිංහල පොලීසිය. ඔන්න අල්ලගන්නවා නම් අල්ලගන්න බුලත්සිංහල පොලීසියේ නිලධාරීන්. ඕ.අයි.සී. මහත්තයගෙ ඉඳලා හැමෝම මේ සිද්ධියට වගකියන්නත් ඕනෙ.
දවසක් බුලත්සිංහල පැත්තේ ගෙදරක පොඩි ආරවුලක් වෙනවා. ගෙවල්වල ඉතින් ආරවුල් වෙනවනේ. මේ ආරවුල සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබෙනවා. පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න පොලීසියට සිදුවෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් වැරැදිකරුවා වන තුරු සැකකරු නේ. ඉතින් සැකකරුවෙක් සම්බන්ධයෙන් පියවරක් ගනිද්දී සැකකරු අරගෙන ඇවිල්ලා, කූඩුවට දාලා, එයාව තියාගෙන පරීක්ෂණ කරන එක තමයි පොලීසියේ සාමාන්‍ය සම්ප්‍රදාය. අපි ඉතින් හැමදාම කියනවනේ. පොලීසියට තමයි ලංකාවේ වැඩිපුරම වැඩ තියෙන්නේ. මොන මොන තානාන්තර තිබුණත් ඒ අයට වැටුප් ලැබුණත් ගොඩක් කට්ටිය වැඩ කරන්නෙ නැති හින්දා පොලීසිය මේ ඔක්කෝගෙම වැඩ කරනවා. ඒක හින්දම පොලීසියට වැඩිපුර බැණුම් අහන්නත් වෙනවා. සමහර වෙලාවට ගුටිකන්නත් වෙනවා. ඒ වුණාට පොලීසියත් නෑ බෑ නොකියා ඒ ඔක්කෝම කරනවා. මේ වෙලාවෙත් එහෙමයි. පවුල් ආරවුල් විසඳන්න ලංකාවේ වෙන සම්ප්‍රදායක් තියෙනවා. ඒක පැත්තකින් තියලා ආරවුලක් වුණා නම්, සාමය කඩවීමක් සිදුවුණා නම් ඒ වෙලාවෙ ඒකට මැදිහත් වෙන්න ඕනෙ පොලීසිය. මේ සිදුවීමටත් පොලීසිය ඒ විදියට මැදිහත් වුණා. දැන් සැකකරු පොලිස් කූඩුවේ. පොලීසිය සාමාන්‍ය විදියට සාමාන්‍ය වැඩකටයුතු කරගෙන සාමාන්‍ය විදියට ගලාගෙන යනවා. ඒ අතරතුරේ ඔන්න පොලීසියට පේනවා අමුත්තෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ අමුත්තගෙ නම තමයි බින්දු. දැන් බින්දු ඇයි පොලීසියට ආවේ? කිහිප වතාවක්ම බලද්දී බින්දු එහෙට යනවා මෙහෙට යනවා ඇතුළට යනවා. ඔය සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් බලාගෙන සිටි අයට ටික ටික ඇතිවෙන්න ගන්නවා. මුලින් බින්දු ගැන එහෙම ලොකු තැකීමක් කාගෙවත් නෑ. බින්දු කියන්නේ කවුද කියලවත් ගණන් ගන්නේ නැතුව හිටියට, පස්සේ තේරෙන්න පටන් ගන්නවා බින්දු ටිකක් මේ වැඩේට මැදිහත් වෙන්න ඇවිල්ලා වගේ කියලා. බින්දු මේක ඇතුළේ කැරකෙන්නේ සැකකරුවෙකුගේ සම්බන්ධයක් තියෙන නිසාද කියලා ඔවුන්ට තේරෙන්න පටන්ගන්නවා. මොකද කවුරුත් දැනගෙන හිටියේ නෑ බින්දු පොලීසියට ආවට, ඇයි ආවේ කියලා. මොකද බින්දුලා වගේ කට්ටිය ඕනෙ තරම් පොලීසියට එනවා, පාරෙ යනවා, තැන් තැන්වලදී මුණගැහෙනවා. ඒක සාමාන්‍යයි. ඇයි බින්දු පොලීසියට ආවේ? උත්තරේ තමයි බින්දු මේ සැකකාරයෙක්ගේ ගෙදර ඉන්න හුරතල් බලු කුක්කා බව. පොලීසියේ සිට මේ සිද්ධිය වුණු තැනට කිලෝමීටරයකට වඩා දුරයි. සැකකරුවා ජීප් රථයේ දාගෙන පොලීසියට ගේනකොට, තම ජීවිතේ පරදුවට තියලා තමන්ට මොනවා වෙයිද කියන එකවත් නොහිතා මේ පුංචි බින්දු ජීප් එක පස්සෙන් දුවගෙන ඇවිලලා දැන් ඉන්නේ බුලත්සිංහල පොලීසියේ. පොලීසියට කවුරු බය වුණත් බින්දු බය නෑ. බින්දුට බය වෙන්න ඕනෙ වුණත්, බින්දුට බය ගැන හිතනවට වඩා හිතන්න වෙලා තියෙන්නේ තමන්ගේ ස්වාමියා ගැන. ආදරෙන් තමන්ව බලාගත්ත කෙනා ගැන. බින්දුට බය ඇති මෙයාව පොලීසියෙ දාලා යන්න. එහෙන් මෙහෙන් ප්‍රවෘත්ති ඇහිලා, නොයෙක් දේවල් දැනගන්න ලැබිලා බින්දුගේ හිත ටිකක් පෑරිලානේ ඇත්තේ. පොලිස් කූඩුවේදී සමහරු මියයනවා. සමහරුන්ට ගහනවා. ඒ වගේ දේවල් බින්දුත් අහලා ඇති. මොකද පොලීසියේ සමහර වැඩවලට බින්දුලගේ නමත් ගෑවෙනවනේ. ඒ කියන්නේ බින්දු කියන නම නෙවෙයි. බින්දුගේ මූලික සහ සිය වර්ගයාගේ නම මේ වැඩවලට ගෑවෙනවා. ඒක නිසාම බින්දු බයයි. බින්දු මේක හොයලා බලලා මොකද වෙන්නේ කියලත් බලලා යන්න තමයි හිතාගෙන ඉන්න ඇත්තේ. දවසක් විතර ගතවෙනකොට බින්දුව එළවන එක පැත්තකින් තියලා පොලිස් නිලධාරීනුත් බින්දු එක්ක යාළුවෙන්න පටන් ගත්තා. ඒක තමයි මම කිව්වේ පොලිස් නිලධාරීනුත් මනුස්සයෝ කියලා. ඊට පස්සේ සිද්ධිය තවත් දරුණු වෙනවා. බින්දු කූඩුව ගාවටම ගිහිල්ලා නැට්ට වන වනා ඉන්නවා. නැට්ට වන වනා ඉන්න බින්දු දිහා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. පවු කියලත් හිතෙනවා. අහිංසක බින්දු හැමෝගෙම උදව්වෙන් කූඩුව ඇතුළටත් යනවා. පොලිස් නිලධාරීන්ගෙනුත් සහයෝගය ලැබෙනවා. කූඩුව ඇරලා දුන්නට පස්සේ බින්දු දුවගෙන ගිහිල්ලා මේ සැකකරුවගෙ කකුල් දෙක උඩ ඔළුව තියාගෙන නැට්ට වනන්න පටන්ගන්නවා. අන්තිමට මොකද දන්වන වෙන්නේ? පොලීසිය තීරණය කරනවා මේ මනුස්සයට ඇප දෙන්න. ඇප දිය හැකි මට්ටමේ හිටපු නිසා ඉක්මනින් ඇප දීලා මේ මනුස්සයව ගෙදර යවන්න පොලීසිය තීරණය කරනවා. බින්දු තමන්ගේ ස්වාමියාවත් එක්කගෙනම තමයි ගෙදර යන්නේ.
ඉතින් පොලීසිය කියලා කියන්නේ හදවතක් නැති මිනිස්සු ඉන්න තැනක් නෙවෙයි කියලා තමයි අපට මේ සිදුවීමෙන් තේරෙන්නේ. කොහෙවත් යන බල්ලෙක්ට අපි ඔළුව නවන්නේ නෑ කියලා පොලීසිය හිතන්න ගියා නම් බින්දුව ගහලා පන්නලා සමහර විට බින්දුගෙ ස්වාමියා තාමත් කූඩුවෙ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට බින්දු පාරෙ තොටේ යන වාහනයකට හැප්පිලා ජීවිතේ නැතිවෙන්නත් පුළුවන්. මේ ආදරණීය ස්වාමියා වෙනුවෙන් වේදනාවෙන් හිටපු සුනඛයා හැබැයි පොලිස් නිලධාරීන් එහෙම වෙන්න ඉඩ නොදී සාධාරණය, යුක්තිය, මනුස්සකම කියන දේවල් ගැන ලොකු පාඩමක් මේ ලෝකෙට කියලා දුන්නා. බින්දු තමන්ගේ ආදරය ගැන ස්වාමියා ගැන ලෝකෙට තවත් රස කතාවක් ඉතුරු කළා. ඒක ලස්සන කතාවක්. ඒ කතාවේ දුක හිතෙන නිමාවක් නෑ. ඒ කතාවෙ තියෙන්නේ සතුටු හිතෙන නිමාවක්. ලෝකෙ බොහෝ සුනඛයන්ගේ කතා නිමාවෙන්නේ දුක හිතෙන කතාවකින්. හරියට ජපානයේ හචිකෝගෙ කතාවෙ වගේ. ඒත් මේ කතාව එහෙම වුණේ නෑ. මේ කතාව ලස්සන නිමාවක් සහිතව ඉවර කරන්න පුළුවන් වුණේ බුලත්සිංහල පොලීසියේ ඕ.අයි.සී. මහත්තයා හදවතක් සහිත මනුස්සයෙක් වුණු හින්දා. අපි දන්නේ නෑ නීතිය කොහොමද කියලා. හැබැයි හදවත ලස්සනයි. ස්තුතියි ඕ.අයි.සී. මහත්තයා. ඔයාලා වගේ මිනිස්සු තමයි පොලීසිවලට ඕනෙ.
ජීවන පහන් තිළිණ






