ලබන 2023 වර්ශය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කල අයවැය ලේඛණයේ මෙරට තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් බොම්බයි නයිස් වර්ගයේ පොරොන්දු දී පාර්ලිමේන්තුව තුල සිට තර්ජන එල්ල කිරීම හෙළා දකිමින් ජනතාවාදී අපේක්ෂා ඉටුකරන පාලනයක් ගොඩනැගීම සඳහා සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සාමකාමී අරගල දියත් කරණ බව සමාජවාදී තරුණ සංගමය පවසයි.
එම තරුණ සංගමය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ එම සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් අංජන අමරසිංහ මාධ්‍ය හමුවේදී පලකල අදහස් පහත දැක්වේ.
රනිල්ගේ සද්දය දාන කලාපය බවට පාර්ලිමේන්තුව පත්කරගෙන
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර
අයවැය සම්මත කරගෙන පාර්ලිමේන්තුව ඇතුලේ බලය තහවුරු කරගෙන තිබෙන බව පෙන්වන පද අල්ලන අය හිටියත් මේ අයවැය ඇතුලේ ඇත්තටම මොනවාද තිබෙන්නේ. විශේෂයෙන්ම තරුණයන්ට අපේක්ෂා තබාගත හැකි තත්වයක් තිබෙනවාද? ‘තරුණයන් ක්‍රියාකාරීව දිරිගැන්වීම’ කියලා ඡේදයක් තුළ කෘෂිකර්මයට අදාළව තරුණ තරුණියන් වෙනුවෙන් රුපියල් මිලියන 120ක් වෙන්කර බවත්, සෑම දිස්ත්‍රික්කයකම නියෝජනය වන ලෙස 240ක් තෝරා ගන්නා බවත් කියනවා. මේ අනුව එක තරුණයෙකු කෘෂිකර්මාන්තයට යොමු කරන්න ලක්ෂ පහක් යොදවනවා කියන්නේ අඩුම තරමින් එක කන්නයක්වත් කෘෂිකර්මාන්තයට යොදවන්න බැහැ. තරුණ කාන්තාවන් 1000ක් තෝරාගෙන එක්කෙනෙකුට රුපියල් දෙලක්ෂ පනස්දහසකට වෙන්කෙරෙන බව සඳහන් කර තිබෙනවා. අඩුම තරමින් රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කරන්න වත් මේ මුදල ප්‍රමාණවත් නැහැ. තරුණ, තරුණියන් විදේශ රැකියා පුහුණු කිරීම සඳහා රුපියල් මිලිනය 50ක් වෙන්කරන බව සඳහන් වෙනවා. අඩුම තරමින් අවුරුද්දකට තරුණයන් 30,000ක් පමණ විදේශ රැකියා සඳහා පිටපත් වෙනවා. අවම වශයෙන් අපි 10,000ක් පුහුණු කරන්නේ යැයි සිතුවොත් එක් අයෙකුට වෙන්වෙන්නේ රුපියල් 5000යි.
තාක්ෂණය පිළිබඳවත් කතා ගොඩක් යනවා. නමුත් අයවැයෙන් තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයට වෙන්කර තිබෙන්නේ බිලියන 12යි. දුරකථන ගාස්තු වැඩිවෙලා. ටැක්ස් වැඩිවෙලා. රනිල් රාජපක්ෂලාගේ අයවැය දැක්ම සාරාංශ කරගත හොත් ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 410ක් වෙන්කර තාක්ෂණයට බිලියන 12ක් වෙන්කරනවා. ඒ වගේම මහජන ආරක්ෂාවට බිලියන 126ක් වෙන්කර තිබුණට ධීවර අමාත්‍යාංශයට බිලියන 6යි. සෞඛ්‍යයට 322ක්, අධ්‍යාපනයට 232ක් සමාජ ආරක්ෂණයට 125ක් සහ කෘෂිකර්මාන්තයට 115ක් බිලියනවලින් වෙන්කර තිබෙනවා. බිලියන 410ක් වෙන් කරන්නේ මහජනතාවගේ ආරක්ෂාවට නොවෙයි. පාර්ලිමේන්තුව ඇතුලේ අටවා ගත්ත රනිල් රාජපක්ෂගේ බලය ආරක්ෂාකර ගන්න මේ මුදල් වෙන්කර තිබෙනවා. විශේෂයෙන්ම ලෝක වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් තිබෙන මානව සම්පත දියුණු කිරීම වෙනුවෙන් විශාල මුදලක් වෙන්කළ යුතුයි. තෙල් තිබෙන සෞදි අරාබියේ අපනයන ආදායම 2019දී ඩොලර් බිලිය 113යි. නමුත් ඉන්දියාව අයි.ටී. තාක්ෂණය විකුණලා ඩොලර් බිලියන 130ක් විදේශ විනිමය උපයාගෙන තිබෙනවා.
මේ අයවැය තුළ ගජමිතුරන් සහ අයි.එම්.එෆ්. එක පිනවීම හැර වෙන කිසිවක් නැහැ. පසුගිය මාස අට තුළ ලක්ෂ පහක් පමණ තරුණ තරුණියන්ට රැකියා අහිමි වී දැවැන්ත බුද්ධි ගලනයක් සිදුවෙමින් තිබෙනවා. මහ බැංකුවේ පමණක් අසූවක් පමණ විදේශ රැකියාවලට ගොස් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මේ ඉදිරිපත් කර තිබෙන්නේ බොම්බයි මොටයි අයවැයක් මිස වෙන දෙයක් නොවෙයි.
රනිල් වික්‍රමසිංහ සද්දය දාන කලාපයක් බවට පාර්ලිමේන්තුව පත්කරගෙන තිබෙනවා. මීට වඩා සද්දය දැමූ අයට සිදුවුණේ කුමක්ද කියලා මෑත අතීතයේ පාඩම් තිබෙනවා. ප්රජාතන්ත්රවාදී අයිතීන් පාවිච්චි කරමින් අපි අරගල කරනවා. මහජන බලයේ අපට තිබෙන අයිතිය පාවිච්චි කරමින් ජීවිතය විඳව විඳවා ඉන්නවා වෙනුවට ජීවිතය දිනන්න අරගලයක් දියත්කර තිබෙනවා. 26වනදා සිට සීතල මාස උණුසුම් කරමින් සමාජවාදී තරුණ සංගමයත් ප්රගතිශීලී ජනතාවත් එකතු වී වීදි පුරා උණුසුම් අරගලය ආරම්භ කරනවා. ඉන්පසු ලංකාවේ නගර පුරාත් දිස්ත්‍රික්ක පුරාත් මේ අරගලය දියත් කරනවා. අපි පාර්ලිමේන්තුව විශ්වාස කරනවා. ප්රජාතන්ත්රවාදී අරගලය විශ්වාස කරනවා. ඒ වගේම මහජන බලය විශ්වාස කරනවා. නව ජනවරමකට වහාම අවස්ථාව ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් නව ජනවරමක් දිනාගැනීමේ අරගලය අපි දියත් කරනවා. නව පුරවැසියෙක් බිහිකිරීමේ අරගලය දියත් කරනවා. 74 වසරක පාලනය අවසන් කර මහජන පාලනයක් වෙනුවෙන් පෙළ ගැසීමේ අරගලය අපි දියත් කරනවා.
තරුණ තරුණියන්ට චුයින්ගම්, බ්‍රේස්ලට් දෙනව කිව්වෙත් මේ රනිල්මයි.
සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් – අංජන අමරසිංහ

මේ අයවැය සම්බන්ධයෙන් ජනතාවගේ කිසිම උනන්දුවක් නැහැ. තරුණ සංවිධානයක් විදියට අපි දකින්නේ මේ අයවැය තුළින් අලුත් වචන ටිකක් එළි දක්වා ඇති බව පමණයි. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් බිහිකරන බව කියනවා. සමාජ ආරක්ෂණය ගැන කියනවා. සමාජ වෙළඳපොළක් ගැන කියනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රතිපාදන වෙන්කර නැහැ. චුයින්ගම්, බ්‍රේස්ලට් තරුණ තරුණියන්ට දෙන බව කිව්වා වගේ බොම්බයි මොටයි අයවැයක් මේ ඉදිරිපත් කරල තිබෙන්නේ.
ණය ගැනීම්, යෝජනා කර තිබෙන්නේ ඉදිරි කාලය ඇදගෙන යන්නයි. අයවැය තුළත් අයවැයෙන් පස්සෙත් රනිල්ගේ කතා තුළ තිබෙන්නේ පිං ජනාධිපතිකම ලබාදුන් රාජපක්ෂ කල්ලිය සැනසීම වෙනුවෙන් කරන ප්‍රකාශ පමණයි. රාජපක්ෂ කල්ලිය පිං ජනාධිපති කියන දේවල්වලින් සැනසෙනවා. මිනිසුන්ට බදු ගහලා, දඩ ගහලා, තවත් මිරිකනවා. ගජමිතුරන්ට පොලු තියන්න අවස්ථාව ලබාදී තිබෙනවා. අයි.එම්.එෆ්. ලෝන් එක ගහලා හරි රට හදයි කියලා තවදුරටත් කවුරුන් හෝ බලාගෙන ඉන්නවා නම්, ඒක හීනයක් විතරයි. මේ නිසා ජනතාව බය කරගෙන ඉදිරි කාලය ගතකරන්න හමුදාව යොදවන බව කියනවා. මේ කියන්නේ මිලේනියම් සිටි හමුදාව පාවාදුන් පාලකයා. මේ කපටි නායකයාගේ වහසි බස්වලට නොරැවටෙන ලෙසත් හමුදාව පාවාදුන් නායකයා තේරුම් ගන්නා ලෙසත් ආරක්ෂක අංශවලින් අපි ඉල්ලා සිටිනවා.
මේ පාලනය වෙනස් කරන්න ඡන්දය ගැනීම වෙනුවෙන් අපිට පාරට බහින්න සිදුවී තිබෙනවා. පසුගිය අරගල කාලයේ ලබාගත් අත්දැකීම් එකතු කර ගනිමින් අපේ අයිතීන් වෙනුවෙන් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වන්න සැලසුම්කර තිබෙනවා. දෙසැම්බර 26 නුවරින් පටන්ගෙන දෙසැම්බර් 07 කුරුණෑගල, දෙසැම්බර් 10 අනුරාධපුර, දෙසැම්බර් 11 ගම්පහ ආදී වශයෙන් දැනට සැලසුම්කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ බම්බලපිටිය, හෝමාගම, මහරගම, කැස්බෑව, අතුරුගිරිය ආදී නගරවල සීතල දෙසැම්බරය උණුසුම්කර, අයතීන් දිනාගැනීමේ සහ ජනතාවගේ පාලනයක් පිහිටුවා ගැනීමේ අරගල දියත් කරන බව ප්‍රකාශ කරනවා






