Home Local News Room : වාලක්කඩි දියසෙන් නා පවත… – Sri Lanka News Update

News Room : වාලක්කඩි දියසෙන් නා පවත… – Sri Lanka News Update

4
0

“සබබේ සත්තා උන්මත්තකා”ය. (සියලු සත්වයෝම පිස්සෝය). එය ධර්ම කරුණකි. එහෙත් ඒ ගණයට මාර්ගඵලලාභීන් විශේෂයෙන් රහතන් වහන්සේලා ගැනෙන්නේ නැත. මන්ද උන්වහන්සේලා කෙළෙසුන් ප්‍රහීන කළ උත්තමයෝ හෙයිනි. කෙළෙස් සුන් කළ රහතන් වහන්සේලාගේ සිත්වල කුසල් සිත් (චෛතසික) මිස අකුසල් සිත් පහළ නොවේ.

“කුසල සිතේ කසළ නැතේ” යැයි කියන්නේ කට කහනවට නොවේ.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියය ඉක්මවූ පසුවැ ශාසනයේ (බුද්ධ) පරිහානිය ඇරඹෙන බව බුද්ධ දේශිත ප්‍රකාශනයකි.

ඉන් අනතුරුව එළඹෙන්නේ ගැමි සාහිත්‍යයේ කියන අන්දමට “වසවර්තියාගේ” හෙවත් දේවදත්තයාගේ යුගයයි. බුද්ධ ධර්මය අනුව “ගණින්නාන්සේලා“ බලවත් වන යුගයයි.

ඒ කාලයේ ගණිංනාන්සේලා, “අඩව්, කස්තිරං, වන්නම්, පමණක් නොව සට්ටං”ද අල්ලන්නෝය. දැන් මේ ගෙවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙදහස් පන්සිය හැටහය වැනි වසරයි. මේ බුදුන්ගේ ඒ අනාගත කථනය ආරම්භ වන සමයේ ආරම්භයයි. මහා සංඝ රත්නයේ වෙසින් “කාපාළුවන්” බඩ පිණුම්, හිටිපිණුම් ගහන යුගයයි.

මේ වන විට තමන් මහා සංඝ රත්නයට අයත් යැයි ලෝකෙට ප්‍රකාශ කරමින් ඇතැම් “උන්නාන්සේලා අල්ලන “ජවුසෙං” සහ ගහන “කරණං” ඇසෙන පෙනෙන කල්හි“අම්මෝ නොව බුදු අම්මෝ” කියමින් “මුල මෙහෙම නං කොහොමට වෙද? අවසානේ” යැයි ඇසිය යුත්තේය.

අපේ නොන්නො හාමි උපාසකම්මා කියන අන්දමට ඒතරම්ම “සැරිකෙස්” (සර්කස්)ය.

තමන් බුද්ධ පුත්‍රයින් යැයි කියාගතුද, ගණින්නාස්සේලාගේ “ගති ලක්‍ෂණ” ප්‍රදර්ශනය කෙරෙන “කහපාට ඇඟලුම්” පමණක් අඟලා ගත් වැඩිදෙනකු පවසන්නේ තමන් රහත් පදවි ලද “අරහං” බවය. (රහසින් හෝ පවු නොකරන බවය).

(සුපේශල ශික්‍ෂාකාමී මහ සංඝරත්නයේ දෙපා නමස්කාර කිරීමට මේ ලියුම්කරුට අවසර)

ඔවුහු තම දායකකාරකාදීන් සංසාරයෙන් එතෙර කරවීමේ බුදුන් අනුදත් සම්‍යක් දාෘශ්ටි, සම්මා සති සම්මා ආජීවාදී මාර්ගය ගිහියනට වදාරා ලබන සත්කාර දානමානාදියෙන් බැහැරව දේවදත්ත නිකායේ “දහං ගැට” සූත්‍රයේ සම්‍යක් ප්‍රයෝග මාර්ගයේ යමින් ධන පොදි බඳින්නෝය.

මැද පෙරදිග තෙල්පප්පලාට නොදෙවැනි අන්දමේ සුරසැප විඳින්නෝය. ඒ සුල්තාන්වරුන්ගේ මාලිගා මොන මාලිගාද? පුහ්.

මේවා නොවැ මාලිගා, පොඩි වෙනසකට ඇත්තේ හැඳින්වෙන අභිදානවල (නම්) පමණි. ඒවා මාලිගා, මන්දිර වුවත් මේවායින් බොහෝ ඒවා වැඩි වශයෙන්ම “ආරාම” සහ “අසපු” වේ

මේ ගණින්නාන්සේලා අතර අයෙක් වෘත්තීය සමිතිකාරයෝය. තවත් අයෙක් දේශපාලනඥයන්ගේ “ගොංපස්” අල්ලන්නෝය. ඇතැමෙක් කේන්දර බලන්නෝය. කොඩිවින කපන්නෝය. යක්දෙස්සෝය. ගැහැනුන් වශීකර දෙන්නෝය. අහවල් විල්ලියාගේ මෑනියන්ගේ (අම්මගේ) චෞර වල්ලභයා (හොරමිනිහාය)යි, කියමින් “හූනියං” කපන්නෝය.

සාධු සම්මත ජනීජනයාගේ යහපත උදෙසා මුන් (ගොන්) වහන්සේලාගේ අභිදානයන් පවා එළිදැක්විය හැක්කේය. ඒ නම් ගොත් (නාමගෝත්‍ර) ද “ආශික්”ය. හරියට බුදුන් වහන්සේත් තම “සුහුරුබඩු” (මස්සිනා) මට්ටමේ ලෙස සැලකෙන ගානටය.

ඇස්, ඉස්, මස්, ලේ, සමග ජීවිතය සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේ පූජා කරමින් දස පෙරුම් දම් පුරා බුද්ධත්වය ලද ඒ උත්තමයාට නිගාකරමින් “පුරාණයක්ම” සරමින් වලඳන මේ නිගණ්ඨයෝ ද සෑම අතින්ම යහපත්ම යැයි කියා ගනිත්. (සෑම අතින්ම යන්නට “සබ්බ අන්ත” යන පදය ද “සබ්බ සාධු” යන පදය ද “සමන්ත භද්‍ර” යන පදය ද යෙදේ.

තවත් කෙනෙක් සිරියාවක් නැතත් “සිරි” යන වචනය යොදා අම්මට සිරි අමන ලෙසින් හැඳුන්වා ගන්නේය.
මේ අභිදානවලට වඩා “ඌරුබොක්කේ මහීෂානන්ද, දත්බොල්ලෑවේ කෙප්පාලෝක, උස්මුරුත්තෙට්ටුවේ ගදුබුවානන්ද” යන නාම භාවත කරන්නේ නම් අගනේමය. කැපය. (කප්පතීය).

ඔය ගණින්නාන්සේලාගෙන් ඇතැමෙක් “ලෝස්” නැතුව තොග ගණනේ සේම සිල්ලරටද ධර්මය විකුණති. එක බණක් (දේශනයකට) රුපියල් පනස් දහසකි. දැන් බණ විකුණන මහා පරිමාණ වෙළෙඳ ආයතනද ඇත්තේමය. ඒ ආයතන “නාලිකා” නමි.

ඇතැම් විට “උඩුවේ” බණ අසන්නට ද පින පාදාගත හැකිය. ශ්‍රාවකයන් අතර පින තට්ටු තට්ටු ඇති අයට දේශකයාණන්ගේ ඇල්ම බැල්ම ද බෙහෙව.

එවන් වහන්සේ ලා බණ වදාරන්නට ධර්මාසනයට වඩින්නට පෙරාතුව පැයක් දෙකක්ම “පත්ත චීවරමාදාය” (මේකප්) දමති.

අනේ පිංවතුනි, බලං කඩතුරා හැර දෑසේ.

ධර්ම දේශනයට වඩින සඳ ධර්ම ශාලාව “ඕබාසෙත්වා” (බබළන්නේය). විවිධ අන්දමේ (විලවුන්) සුවඳ පැතිරෙන්නේය.

පොඩ්ඩක් හෝව්. හොඳට “විජානනය” (පරීක්‍ෂාකර) කරන්න. (ආරම්මණං විජානනං ලක්ඛණං චිත්තං) ඇතැම් දේශකයාණන් වහන්සේලා දෙතොල් ද සායම්කර (ලිප්ස්ටික් උලා) ගෙන වඩින්නෝය. තෙල් බේරෙන, සුවඳ හමන පංචස්කන්ධය උපාසකම්මලාට රසඳුනකි. කියලා වැඩක් නැත.

වළ පයයි ගොඩ පයයි මට්ටමේ සිටින අපේ නැන්දම්මා කෙනකුට ශ්‍රද්ධාවෙන් පිටගැස්ම හැදී එවන් කෙනකුන් දෙස මුව විදා අනිමිස ලෝචනයෙන් බලා සිටින සඳ මේ ලියුම්කරු විසින් දක්නා ලද්දේය. ඒ බව දුටු ඕ “බොහෝම පිංවන්ත පාටයි පුතේ” යැයි කීවාය.

“සාධු, සාධු. සා..ආ.ආ.ආ…” ලියුම්කරු සාධුකාරයක් දුන්නේය.

ඔය ගණින්නාන්සේලාගේ සාධුචර්යා වත ගැන පොඩ්ඩක්ය. උන්වහන්සේලා අතරින් තිළිණි ප්‍රියමාලි නමැති සුරූපී කුලවමිය අරමුණු කර ධනය රැස්කරවා දීමට දේවානුභාවයෙන් (දේවාරූඪ) කරන ලද මෙහෙවර අරබයා මේ වන විට බුරුල්ලේ අම්මට සිරි උන්නැහේ නම් සිවු පාර්ශ්වයෙන් (පැත්තෙන්ම ආරක්‍ෂා සහිත “ගඳ කුටියකට” (කිලියකට) ගාල් කරනු ලැබ පුරා පැය විසි හතර තිස්සේම යකඩ කූරු ගණන් කරන්නා සේක් යැයි අසන්නට ලැබෙත්.

එසේ වෙසෙන කල,

“කන්නන් මෙන් විස අඹ පල රිස්සේ – නන්නං ගහයට හිටියට වැස්සේ” යන ලෝවැඩ කෙසේ වෙතත් උහුගේ සඟරාවේ තිබිය හැකි.

“ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ – ජොලියෙන් කකුළුව වළ කජු කෙළියේ” යන පද සිහිපත් වෙනවාද යන්න ද විමැසිය යුත්තකි.

ඒ කෙසේ වෙතත්, හතර පෝයටම නොවැරදීම සිල් සමාදන්වන අපේ ගමේ “බාරොං” (බාරා) උපාසක මාමා කී කතාවක් නම් උන්නාන්සේ යකඩ කූරු ගණනය කිරීමට තමන්ට හේතුප්‍රත්‍ය වීම උදෙසා නිමිත්ත පහළකරවා දුන් තිළිණි ප්‍රියමාලි සුරංගනාව ආරම්මණය කර නිරන්තරයෙන් සිහිපත් කරනු ඇතැයි සිතන්නට ඉඩ තිබේ.
ඒ කතා වත්තුව මෙසේය.

“සක්කෝ උජූත සූජූත – නුබකෝ චස්ස මුදු අන්තිමානි, සංතුට්ඨ කෝච…” ආදී වශයෙන් කියන එකේ අරුතෙ උඹල දන්නවද? කුඹුරුවල ගොයම්ප කපා දවසක් හැන්දෑකරේ කමතේ දමා කොළ (ගොයම්) පාගන අතරේ කොළය “තැලවෙනකං” (ගවයන්ට පෑගෙන තුරු) ලැබෙන නිවාඩු පාඩුවේදී අපේ කොලු නඩෙන් ඇසුවේය. (ඔය පනස් ගණන්වල මුල් කාලයේ සිද්ධියකි.)

“ඕං අහගනිල්ල”

“ඔය කරණීය මෙත්ත සූත්තරේ එකක් නෙ.” එකෙක් කීවේය.

“ඒ වුණාට පොතේ තියෙන්නෙ ඒකෙ හරි තේරුම නෙමෙයි”

අප කරකවා අතෑරියා සේය.

“ඕං අහගනිල්ල”

දවසක් ශක්‍රයා අජූත සූදුවට ගියා. එහෙම ගිය ශක්‍රයා තමන්ගෙ “දේව කල්ලිය” එක්ක අජූත කෙළින කොට හොඳටෝම පැරදුණා. අතේ තිබුණු සබ්බ සකලමනාවම පැරදුණු කොට අතේ ඉතුරු වුණේ කසාද බඳින දවසේ දේවතාවි දැම්ම මගුල් මුද්ද විතරයි. ඒ යෝදයා “ඕනෑ මගුලක්” කියල හිතාගෙන ඒකත් “චස් ගාල” ඔට්ටුවට දැම්ම්. ඒකටත් කෙළවුණා. ඉතින් “හාන්සිපයිස්” ගැසූ සකා හොඳමෝම රෑ බෝවී තිබුණු ඒ මොහොතේ හීන් සීරුවේ ඇවිල්ල සිරියහන් ගබඩාවට රිංගලා ඇඳේ දපාගෙන වෙච්චි ඇබැද්දිය ගැන කල්පනා කරන වෙලාවෙ අඩුතුන් කෙළක් ඉන්න භාර්යාවන් අතරින් නිපකෝච නමැති නෝනා හෙමින් සීරුවට ඇවිල්ල ලොක්කා තරු ගණින බව දැක මොකද සංතෝසයක් නැතිව වාගෙ ඉන්නේ යැයි ඇහුවා.

යකා නැගල හිටපු සකා(ශක්‍රයා)ගත් කටටම “අප්ප කිච්ච්චෝච සල්ල ….කියල කීවනේ.

ඉතින් අපෙ අමන ගොය්යාත් කාමරේ ඉඳගෙන තිළිණි සිහිකරගෙන ඔය අවසාන පදේ හිත හිතා ඉන්නවා වෙන්නට ද බැරි නැත.

මේ සමයේ උස්මුරුත්තලා,ගලඋඩ අත්තප්පලා,හැම පැත්තෙන්ම භද්දරලා,අම්මට සිරිලා අඩව් අල්ලමින් යන පෙරහරේ අලුත්ම නැට්ටුවා “කොත්මොල්” පැත්තෙන් පාත් වූ “අච්ඥාන විජේය”

උන්නාන්සේ “රඟන්නේ” අමුතුම අමුතු නැටුමකි. අඳින්නේ දියසෙන් නා චරිතයටය. රටේ ගැලවුම්කරුවකු වශයෙන් දියසෙන් නා (දියසේන නමැති මහා පුණ්‍යවන්තයකු) බිහිවන බව පළමුවෙන්ම පැතිරුනේ සයවැනි පරාක්‍රම බාහු රජුන් (1410-1467) සමයේ දීය. ඒ රට එක්සත් කිරීමටය.

අනතුරුව 1956 දීය. ඒ වෙසින් ඒ වකවානුවේ සමාජගත වූවේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. අනතුරුව පසුගිය 2019 තරමේ දීය. ඒ ගෝඨාභය රාජපක්‍ෂ උන්නැහේ කරළියට “උස්සා” තැබීමේදීය.

සයවැනි පරාක්‍රම බාහු රජු පමණක් රට වැස්සාගේ අපේක්‍ෂාව ඉෂ්ට සිද්ධ කෙළේය. ඉන් පසු බලය ගත් දියසේනලාගෙන් සිදුවූයේ මහා වින්නැහියකි.

මෙවර රඟන රංගධර දියසෙන් තමන් විසින් හිසේ ලා ගන්නා ලද ඔටුන්නම පමණක් රුපියල් කෝටියකට වැඩියිලු. රඟන රැඟිල්ල නම් පුංචි පහේ එකක් නොවන බව එමගින් පෙනෙන්නටම තිබේ.

අප පොඩි කාලේ අපේ පැත්තේ දිය නා (නාගයා) භීතියක් පැතිරී තිබුණෙන්, අපි ඇළක දොළක නාන්නට බියවීමු. අපේ මාපිය වැඩිහිටියන් විසින් එ වන් වතුරකට නොබසින ලෙසට තදබල අන්දමට දැනමුතුකම්ද දෙනු ලැබ තිබිණි. ගංගා, ඇළදොලවල දිය නයි බෝවී සිටින බවත් අධික විෂ සහිත ඒ උරගයකු විසින් දෂ්ට කරන ලද කල විෂ වහා ශරීර ගත වැ මැරෙන බවත් එසේ හත්අට දෙනකු මියගොස් ඇති බවත් ප්‍රචාරය වූ නිසා කිසිවකු වතුරකට බැස්සේ නැත.

දිය නයාට ඇතැම්හු මුළාවෙන් දියබරි යැයි ද කීවෝය. ඇත්ත වශයෙන්ම දිය නයාට පරියාය නාමය “වාලක්කඩියා” වූයෙන් සමාජගත වූයේ ඒ නමය.

ඒ සමයේ ගෑනු ළමයකුට පාරට බහින්නට කොල්ලන් ඉඩදුන්නේද නැත. හැමතැනම වාලක්කඩිය. මන්ත්‍රී කෙනකුට දෂ්ට කිරීමෙන් විෂ ශරීරගතවී වාලක්කඩියකු මියගිය පුවතක්ද පැතිර තිබුණේය

දැන් මේ පහළවී සිටින්නේ තමන් විසින්ම ඔටුණු පැළඳගනු ලැබූ නොම්මර එකේ වාලක්කඩියෙකි. ඔහුගේ “කොරනේෂන්” එක (Coronation) (ඔටුණු පැලඳීම) දෙවැනි වන්නේ එංගලන්තයේ “ඩයනා” නෝනාගේ විවාහ මංගල්‍යයටය.

මේ වාලක්කඩියා කෙසේ වෙතත්“වලහැඩියා” ගැන මෙසේ ලියන්නට සිදුවූයේ මේ කිසිසේත්ම භික්‍ෂූන් වහන්සේ කෙනකුන් නොව පල් හොරෙකු බව ඉරහඳ මෙන් පැහැදිලි බැවිනි.

බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරන මොහොතේ “සක්විති කිරුළ (චක්‍රවර්ති රජකම) සතියකින් ලැබෙනවා බුදුවෙන්න යන්න එපා” යැයි කියමින් මාරයා (මාර දිව්‍යපුත්‍ර) මඟ හරස් කළ අවස්ථාවේ ලෝවැස්සා කෙරෙහි පතළ මහා කරුණාවෙන් ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා මිස මේ “කොත්මොලයා” මෙන් “අර මඟුල් කෙහෙල්මල” ඔළුවේ පටවා ගන්න නතර නොවූ සේක.

එකකු දෙන්නකු නොව දසදහස් ගණනින් හිටිඅඩියේ කඩා පාත් වුවත් පෑල අල්ලන මල්ලේ දෙපෑල පුරවන්නාසේ කොටා බාන්න(කෑමට) දෙන්නට තරම් ධනයෙන් ආඪ්‍ය මහ “අඬහැරක්” (විශාල ප්‍රදේශයක්) තම “අපුච්චාට” තිබියදීත් ඒ ගැන පයිසෙකට හෝ මායිම් නොකර පාරට බැස මහ කාෂ්ටක අව්වේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන ගෙයක් ගෙයක් ගානේ හිඟා යමින් මොකක් හෝ යමක් කන්නට ඉල්ලද්දී “මොකද මගෙ පුතේ උඹ ඔය මට කරන “නවනිග්ගිරහව, අපේ වංසෙ එකෙක් කවදා හෝ හිඟාකෑ බවක් අහලවත් තියෙනවා”දැයි ඇසූ කල්හි “මහ රජ ඒ ඔබේ වංසෙ, මේ මගේ වංසෙයි” ඉතා නිහතමානීව කියමින් වංශක්කාරයන්ට කන්අඩි පැළෙන්නටම දුන් උත්තරේවත් “විශ්ව ශක්කිය” ඇතැයි කියමින් මුග්ධයන් රැලක් පිරිවරාගෙන බහුරූ කෝලම් නටන මේ “අඥානයාට” තේරුම් ගන්න බැරි එකනෙ පුදුමෙ.

අනිත් එක, ලග්ගල ඊරියගස් උල්පත් මහ වනයේ වසර ගණනාවක් තිස්සේ භාවනා කර “විදර්ශනා ඥානයේ නම(9)වැනි සංඛාරා උපේක්ඛා” පලය ලබා ගත්තා යැයි කියන මෙතුමාණන් තමන් ගෙන් මහා සංඝයා වහන්සේලාට වරදක් සිදුවුණි නම් ඊට සමාව ඉල්ලන බව ද පවසා තිබේ.

හත් දෙය්යනේ අච්චර ධ්‍යාන මට්ටමක් ලබා ගත්තෙකු වුවත් තවමත් පුහුදුන් සංඝයා වහන්සේලාගෙන් සමාව ඉල්ලන බව ප්‍රකාශ කරන්නේ තමන්ට වැරදී ඇති බව තමන්ටම අවබෝධවී ඇතිබව පිළිගැනීම නොවේ ද? මේ හොඳටෝම ඇති. (Enough means enough)

දරුවන්ට දවසකට වේලක් හෝ මොනවා හෝ කන්නට දෙන්නට නොහැකිව මේ රටේ දෙමාපියන් ළතැවෙද්දී අපේ ජනාධිපතිතුමා මෙන් කොහේද රටක රාජ්‍ය නායකයකුගේ උපන්දිනයකට මෙරට දී කේක් කපා සාද පවත්වන්නාසේම ඔටුන්න පමණක් රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් ඇතැයි කියමින්, කොරනේෂන් එකට මේසා ධනස්කන්ධයක් විනාශ කරමින් පිස්සු කෙළිය හැක්කේත් අඥානයකුටම පමණක් නොව ඊට උන්මත්තක භාවයද අනිවාර්යයෙන්ම බද්ධවී තිබිය යුතු කෙනකුට පමණි. අනෙක් අතට මේසා ධනස්කන්ධයක් සන්තකයේ (රුපියල් කෝටියක ඔටුන්නක්ද ඇතිව) රැඳෙන්නට හේතුභූත වන මූල්‍ය “ප්‍රභවය” කෙසේදැයි විමසිය යුත්තේමය. කළු සල්ලි සුදු කිරීමෙක්ද?)

කෙසොල් මහ රජානන් දුටු “සොප්නාවලියේ” (සිහින මාලාවේ) එක් සොප්නයක අරුත මහා සංඝ සමාජයේ විනාශයට මූලය සංඝ සමාජයෙන්ම ජනිතවන බවය.

(අප මේ වෙලාගනු ලබන්නේ ඒ බියකරු ඝනාන්ධකාරයෙන්ද අපෙ මහා නායක හාමුදුරුවනේ.)

මේ ටික කීවේ කාගෙ හෝ කොන්ත්‍රාත්තුවක් ජරා ගොඩකට යටවී භාරගෙන නිර්මල බුද්ධ ධර්මයටත් මහා සංඝ රත්නයටත්, සංඝයා වහන්සේ කෙනකුන්ම යැයි අඟවමින් මේ කෙරෙන නිග්‍රය පිළිබඳවත් එමගින් මුළාවී ඇති උවසු උවැසියන්ට දෙවරක් හිතා බලන්නට කෙරෙන ආරාධනයක් මිස කවුරුන් හෝ සම්බන්ධයෙන් ද්වේශයක් ඇතිකරන්නක් නොවන බව කීමටය.

ඔටුනු පැලඳ සිටියත් සිහසුනක් මත
නුඹ ගොන් රජෙකි ඔය මහ ගොන් රැළට හිත
මහමෙර සදිසි පාහරකම පෙනෙයි කැත
තොප වන් අමනයකු සිරිලක තවත් නැත

චන්ද්‍රසේන මාරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here