පොලීසිය කියලා කියන්නේ රටක සාමය ආරක්ෂා කරන්න රටේ මිනිස්සු වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න, රටේ මිනිස්සු රණ්ඩු වෙන එක, ගහබැණ ගන්න එක, මරාගන්න එක නතර කරන්න තියෙන ආයතනයක්. ඇත්තටම ලංකාවේ පොලීසිය තමන්ට නිල වශයෙන් පැවරිච්ච රාජකාරිවලට එහා ගියපු වගකීම් ගොඩක් මිනිස්සු වෙනුවෙන් ඉටුකරන තැනක්. ඒ නිසා අපි ලිපිය පටන්ගන්න තැනම කියලා ඉන්නවා අපි මේ පොලීසියට ඉතා ගෞරව කරනවා සහ ඉතාම ආදරය කරනවා කියන එක. ඒකට හේතුව රටේ විවිධ ආයතන, විවිධ කණ්ඩායම් තමන්ට පැවරිච්ච වගකීම පැහැරහරිනකොට ලංකාවේ පොලීසිය ඒ වගකීම තමන්ගේ කරගෙන සමහර වෙලාවට අනුන්ගේ පරිප්පුත් කාලා මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා. ඒක අපි දන්නවා. ඒක අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම සුරාබදු නිලධාරියාගේ කාර්යභාරය අද සිද්ධ වෙන්නේ පොලීසිය අතින්. ඒ වගේම වන සංරක්ෂණ නිලධාරියාගේ, වනජීවී එකේ රාජකාරි සිද්ධ වෙන්නෙත් පොලීසියෙන්. සමහර වෙලාවට ළමා ආරක්ෂක අධිකාරියේ රාජකාරියත් සිද්ධ කරන්නේ පොලීසිය. පවුල් ආරක්ෂණය සම්බන්ධ රාජකාරි කරන්නෙත් පොලීසිය. පහුගිය කාලෙ පී.එච්.අයි. නිලධාරියාගේ රාජකාරියෙන් යම් කොටසක් ඉටුකළේත් පොලිස් නිලධාරීන්. කොවිඩ් වසංගතය අවස්ථාවේ පොලීසිය නිකන් අත් මේස් දෙකක් විතරක් දාගෙන, මාස්ක් එකක් විතරක් ලැබුණු පොලිස් නිලධාරීන් මිනිස්සු වෙනුවෙන් වැඩ කළා. ඒ නිසා පොලීසිය කියලා කියන්නේ දකින දකින තැන ගල් ගහන්න, දකින දකින තැන නරකයි කියන්න සුදුසු ආයතනයක් නෙවෙයි. කවුරු හරි එහෙම කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. හැබැයි මේ වෙලාවේ පොලීසියට මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඊයේ පෙරේදා දැක්ක ඉතා අප්‍රසන්න සිද්ධියක් නිසා මුළු ලෝකෙම ලංකාවෙ පොලීසිය පැත්තට ඇඟිල්ල දික්කරන්න පටන්ගත්තා.
සිද්ධිය වෙන්නේ කාන්තාවන් දෙදෙනෙක් හුදෙකලා විරෝධතාවක නියැළෙමින් බෝඩ් ලෑලි උස්සගෙන කොළඹ එන කතන්දරෙත් එක්ක. මේ කාන්තාවන් කවුද, මේ විරෝධතාව මොකක්ද, මේ විරෝධතාව ලකුණු දාගන්න කරපු එකක්ද, සමහරු කරනවා වගේ ඊළඟ ඡන්දෙට එන්න ආකර්ෂණය නැති වුණාම දාන සෙල්ලමක්ද, එහෙම නැත්නම් ප්‍රසිද්ධ වෙන්න දාන සෙල්ලමක් වගේ එකක්ද කියන්න අපි දන්නේ නෑ. අපිට ඒකෙන් වැඩකුත් නෑ. ඇත්තටම පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න සහ නීතිය ක්‍රියාත්මක කරන්න ලංකාවේ පොලීසියට ඉඩකඩ ඕනෙ තරම් තියෙනවා. ඒත් තමන් වෙතට කැමරා එල්ල වෙලා තියෙනවා කියලා නොදැන ඒ උසස් පොලිස් නිලධාරියෙක් සිදුකරන ක්‍රියාව නිසා මුළුමහත් පොලීසියම හත්පොළේ ගාගත්තා කියලා තමයි අපට නම් කියන්න සිද්ධ වෙන්නේ.
ඇත්තටම පොලිස් නිලධාරීන්ට මේ රාජකාරිය ඉෂ්ට කරන්න, මේ වෙලාවේ වැඩකරන්න ක්‍රමවේදයක් තියෙනවා. පොලීසියටත් සදාචාරයක් තියෙනවා. පොලීසිය කියලා තමන්ට ඕනෙ ඕනෙ විදියට මිනිස්සුන්ට ගහන්න බණින්න, අත්අඩංගුවට ගන්න, බෙල්ලෙන් අල්ලන්න බෑ. දැන් පොලීසිය සාමාන්‍ය සිවිල් ජනතාවට එරෙහිව වැඩ කරන විදිය ගැන බොහෝ තැන්වලදී ලියැවෙනවා කියැවෙනවා. ඒ තැන්වලදී කියනවා මේ පොලිස් නිලධාරීන් සාමාන්‍ය මිනිස්සුන්ට වධ දුන්නා, මරලා දැම්මා, ගැහුවා වගේ නඩු හබ කෝන්තර ඕනෙ තරම්. එහෙම තියෙන අතරතුරේ පොලීසිය තමන්ගේම නිලධාරීන්ගේ බෙල්ලෙන් අල්ලනවා නම්, විශේෂයෙන්ම නිලධාරිණියකගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරනවා නම් ඒ පොලීසිය සිවිල් ජනතාවට කොහොම සලකනවා ඇද්ද කියන එක ගැන අමුතුවෙන් අහන්න දෙයක් නෑ. ලෝකයේ බොහෝ මානව හිමිකම් සංවිධාන මේ සිද්ධිය දැකලා ඔවුන් එළිපිට කරන තර්කය සහ තිරයෙන් පිටිපස්සේ කරන තර්කය තමයි මේ මිනිස්සු සාමාන්‍ය ජනතාව කොහොම ඇද්ද කියන එක. ඒ වගේම තව කතාවක් කියැවෙනවා. ඒ තමයි දකුණේදී මෙහෙම නම්, මුං උතුරෙදී මුන් කොහොම වෙන්න ඇද්ද කියලා කියැවෙනවා විතරක් නෙවෙයි අපටත් එහෙම හිතෙනවා. අපටත් ඒක අහන්න හිතෙනවා. මොකද මේ විදියට තමන්ගෙ සහෝදර නිලධාරිනියගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරන්න පුළුවන් නිලධාරියෙක් කොහොම සලකයිද සාමාන්‍ය මිනිස්සුන්ට කියන එක. ඒ වගේම මේ නිලධාරිනියන් පොලිස් කාර්යාල ඇතුළෙදී පොලිස් ස්ටේෂන් එක ඇතුළේ මොන තරම් අඩන්තේට්ටම්වලට ලක්වෙනවා ඇද්ද? මොන තරම් හිංසාවට පීඩාවට ලක්වෙනවා ඇද්ද? ඇත්තටම අපි දන්නවා ඔවුන්ට මේක කියන්න බෑ. මොකද වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිව්වා වගේ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. යන්න තියෙන්නෙත් පොලීසියට. ඉහළින් ඉහළට කොහෙට ගියත් තමන්ගේ රස්සාව නැති කරගෙන, තමන්ට ජීවත්වෙන්න තියෙන විදිය නැති කරගෙන, ඔක්කොම අහිමි කරගන්න තරම් අපේ නිලධාරිනියෝ, අපේ මිනිස්සු බය නිසා විශේෂයෙන් මේ වගේ වෙලාවක අපේ මිනිස්සු මේ වගේ දේවල් කරන්න බය නිසා මේ රස්සාවල් නැති වෙලාවේ රටම ආර්ථික අහේනියක තියෙන වෙලාවේ නිකන් පරිප්පුවක් කන්න බැරි හින්දා සමහර වෙලාවට මේ කතන්දර නොකියා ඉන්නවා ඇති. අපි දන්නේ නෑ ඇත්තටම ඒවා එහෙම වෙනවද නැද්ද කියන එක. එහෙම වෙන්නේ නැත්නම් හොඳයි. අපිට නඩු දාන්නවත් අපිත් එක්ක පැටලෙන්නවත් එන්න කාරණාවක් නෙමෙයි. අපිට මේවා දැක්කම එහෙම හිතෙනවා. එහෙම නැත්නම් හොඳයි. ආයෙත් ඒක අපිට කියන්න තියෙන්නෙ එහෙම. මේ වෙලාවේ පොලිසිය මේ විදියට කාන්තාවන්ට බලහත්කාරයෙන් තර්ජනය කරලා ගහලා බැනලා ඇතුළට දාගන්න එක, පොලිසිය මිනිස්සුන්ට ගහන්න, බණින්න, තර්ජනය කරන්න යන එක දැන් ටිකක් වැඩි වෙලා වගේ ගතියක් අපට පේනවා. අපි කලින් සතියක ලිපියක් ලිව්වා ඔබ සමහර විට දකින්නැති. සමහර විට ඔබ කියවන්න ඇති. මේ ලියුම්කරු වන මා විසින්මයි එම ලිපියත් ලිව්වේ. පොලිසියයි මිනිස්සුයි අතර ගැටුමක් නිර්මාණය කරන්න කාට හරි වුවමනාවක් තියෙනවා කියලා. ඇත්තටම එහෙම ගැටුමක් නිර්මාණය කරගන්න එපා කියලා අපි මිනිස්සුන්ගෙන් ඉල්ලුවා. අපි කිව්වේ පොලිසිය ඇත්තටම නරක නෑ ඒ මිනිස්සු කරන්නේ තමන්ගේ රාජකාරිය කියලා.
හැබැයි රාජකාරිය නෙවෙයි දේවකාරිය වුණත් සාමාන්‍ය මනුස්සකම්වලට ඉහළින් තියාගන්නවා මිසක් සාමාන්‍ය මනුස්සකම්වලට පහළින් තියාගත්තොත් ඒක රාජකාරියක් දේවකාරියක් කියනවට වඩා අපි සාමාන්‍යයෙන් ගමේ කියන්නේ බලු වැඩක් කියලා.ඒක නිසා , නිලධාරී මහත්වරුනි මතක තියාගන්න තමන්ට හම්බවෙලා තියෙන තරු අහසේ තියෙන තරු වගේ ඈතින් බලනවට වඩා ඔයා ළඟ තියාගෙන බලන එක තමයි හොඳම දේ. ඒක නිසා ඔය තරු අනිත් මිනිස්සුන්ට පෙන්නන්නේ නැතුව තමන්ට අවශ්‍ය විදිහට තමන්ට ඕන විදිහට බලා ගත්තා නම් තමයි වඩාත් ගැළපෙන්නේ. මොකද හේතුව තරු වැඩිවෙන්න වැඩිවෙන්න ගොඩක් අය ඒ තරු පෙන්නන්න පටන් ගන්නවා සාමාන්‍ය මහජනතාවට. ඇත්තටම මහජනතාවට තරු පෙනුණට, මතක තියාගන්න ගොඩක් නිලධාරි මහත්වරු දන්නේ නෑ අන්තිමට ඒගොල්ලොන්ට ගෙදර යන්න වුණේ තරු පෙනිලා කියලා. ඉහළ තනතුරු තාන්න මාන්න අරගන්න පොලිස්පතිකම අරගන්න, අර තනතුර මේ තනතුර අරගන්න එක එකාගේ ගුබ්බෑයම්වල රිංගපු සමහර නිලධාරීන් ගැන අපි කලින් ඇහුවා. ඒවා ඉතින් අහන්නත් ලැජ්ජයි, බලන්නත් හිරිකිතයි. ඒ වුණාට ඒ අයට තාමත් ලැජ්ජා නැතුව පොලිස් නිල ඇඳුම ඇඳගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ පොලිසියේ වරදක් නිසාද මිනිස්සුන්ගේ වරදක් නිසාද අපේ වරදක් නිසාද කාගේ වරදක් නිසාද කියලා අපි දන්නෙ නෑ. අපි බලාගෙන ඉන්නවා හෙට වෙන්නෙ මොකක්ද කියලා. අද වෙන දේම හෙට වුණොත් හෙට ඉඳන් අනිද්දා වෙනකම් අපි බලාගෙන ඉන්නවා. හැබැයි මතක තියාගන්න මේ වගේ නරක හැසිරීම්වලට අපි කොහොම කළත් අහසේ උඩ ඉඳන් බලාගෙන ඉන්න කෙනෙක් හරි අනිවාර්යයෙන්ම දඬුවමක් නම් දෙයි. ඒ නිසා මහත්වරුනි පරිස්සමට කරන දෙයක් කරන්න.
ජීවන පහන් තිළිණ






