Home Local News Room : මර්දනය දියත් කිරීමට දරන ප්‍රයත්නය පරාජයට පත්කළ යුතුයි –...

News Room : මර්දනය දියත් කිරීමට දරන ප්‍රයත්නය පරාජයට පත්කළ යුතුයි – Lanka Truth | සිංහල

3
0

රනිල් වික්‍රමසිංහ අටවන ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද යොදා ගනිමින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.

ඔවුන් මේ බව අවධාරණය කළේ ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය. එම සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි එම හමුවේදී දැක්වූ අදහස් පහතින් පළවේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන අත්අඩංගුවට ගැනීම් ඇතුළු මර්දනීය ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට කරුණු දැක්වීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා. අරගලය නිසා රට සංවර්ධනය කළ නොහැකි බව සහ එය පවතින ප්‍රශ්නවලට හේතුව බව ආණ්ඩුව ප්‍රචාරය කරමින් යනවා. නමුත් 2020 මාර්තුවලදී කෝවිඩ් වසංගතය පැමිණීම සම්බන්ධයෙන් නිසි පියවර පාලකයන් විසින් ගත්තේ නැහැ. සෞඛ්‍යය විශේෂඥයන්ගේ උපදෙස් පිළිගත්තෙත් නැහැ. අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යෙදවූයේත් නැහැ. හමුදාව යොදවා මර්දනය පටන් ගත්තා. කාබනික පොහොර ප්‍රතිපත්තියට විරුද්ධව ගොවීන්ගේ නැගී සිටීම, ආහාර හිඟය, ඉන්ධන සහ ගෑස්,  කිරිපිටි හිඟය සහ භාණ්ඩ මිල අසීමිතව ඉහළ යාම දිගටම සිදුවුණා. ඔය අතර කොතලාවල ආරක්ෂක පීඨය සම්බන්ධයෙන් පනත සම්මත කර ගත්තා. මේ සියල්ලේ එකතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, සිවිල් ක්‍රියාකාරකයින් විරෝධතා පටන් ගත්තා. එහි තවත් පියවරක් ලෙස මාර්තු 31 වැනිදා මිරිහානයෙන් ඇරඹි උද්ඝෝෂණ විසඳුමකින් තොරව තවමත් පවත්වාගෙන යනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27වැනි වගන්තිය අනුව රාජ්‍ය ප්‍රතිපත්තිවලින් ජනතාව රැකබලාගත යුතු ආකාරය දක්වා තිබෙනවා. මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහස, සමාන ඉඩ ප්‍රස්ථා සියලු පුරවැසියන්ට ලැබීම, රට සංවර්ධනය කිරීම, ආර්ථික නිෂ්පාදන සමස්ත ජනතාවට බෙදී යන ආකාරයෙන් ධර්මිෂ්ඨ ක්‍රමයක් ඇති කිරීම සහ ළමයින් මෙන්ම යෞවනයන් කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීම ගැන සඳහන් වෙනවා. ඔවුන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය උදෙසා රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම රජයට පැවරී තිබෙනවා. නමුත් පාසල් සිසුන් ක්ලාන්තය සෑදී ඇදවැටෙනවා. කායික සහ මානසික වර්ධනය පිරිහීයාමේ තත්වයක් පවතිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිසි පරිදි කෙරෙන්නේ නැහැ. කර්මාන්ත වැසී රැකියා අහිමි වෙනවා. මේ තත්වය තුළ එකම විසඳුම පාරට බැස සාධාරණ අරගල කිරීමයි. එයට එරෙහිව මර්දනය දියත් කිරීමට දරන ප්‍රයත්නය අප විසින් පරාජයට පත්කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here