Home Local News Room : ජීවිතය ඉල්ලූ දෙන්නෙකුට වකුගඩු දෙක දන්දීලා පියාගේ ප්‍රාර්ථනාවට අවනතව...

News Room : ජීවිතය ඉල්ලූ දෙන්නෙකුට වකුගඩු දෙක දන්දීලා පියාගේ ප්‍රාර්ථනාවට අවනතව ජීවිතය හැරගිය සචිනි…

3
0

‘අපේ ජීවිතවලට සතුට ගෙනාවේ ඔයා දුවේ. ඔයා මගේ ලෝකේ ලොකුම ජයග්‍රහණයයි. දුව ජීවිතයට ආ දා පටන් මගේ ජීවිතය එළිය වුණා. එදා ඉඳලා අපේ ජීවිතවල වටිනාකම වැඩිවුණා. වැඩියෙන්ම සතුටු වුණු දවස මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ දුව මේ ලෝකේ එළිය දුටු දවස කියලා. මම මුළු දවසම රැකියාව කරලා වෙහෙසිලා ගෙදර එනකොට දුව දොර ළඟට දුවලා ඇවිල්ලා මාව බදාගත්තාම ඒ දවසේ සිදුවුණු සියලු දේ මට අමතක වුණා. මගේ ජීවිතයේ සැනසීම වුණේ ඔයයි. ඉපදුණු දවසේ ඉඳලා අවුරුදු 23ක් ආදරය සෙනෙහස රැකවරණය දීලා ඔයාව ලොකු කළා. පුංචි කාලේ මගේ ඇඟේ දැවටී ඔයා ලොකු වුණේ. ඒ මතකයන් මට අමතක කරන්න අමාරුයි. ඔයාට එදා ඉඳලා මේ සමාජයේ ගුණධර්ම අධ්‍යාපනය දීලා ඔයාව වෛද්‍ය පීඨයට තේරෙන කල්ම හොඳ දේ දුන්නා. වෛද්‍ය පීඨයට තේරුණාම අපි කොච්චර නම් සතුටු වුණාද. එදා අපි සතුටෙන් ඉපිලුණා. ඔයා සුරංගනාවියක් වගේ විවාහයට හැඩවෙන දවස දකින්න මම සිහින මැව්වා. ඒත් ඒ සිහින බොඳවෙලා ගියා. ඒ සතුට සදාකාලික නැහැ. පුංචි කාලේ ඉඳලා ගේ පිරිලා තිබුණේ ඔයාගේ හිනාවෙන්. ඒත් අද වෙනකොට ඒ ගෙදර සොහොන් පිට්ටනියක් වගේ පාළුවට ගිහින්. ඔයා අපිව දාලා යන්නම ගිහින්. රියැදුරකුගේ නොසැලිකිලිමත්කමට වන්දි ගෙව්වේ ඔයාගේ ජීවිතයයි. මගේ දුවේ ඔයා මේ ලොකෙන් සමු අරන් යන්න ඉස්සෙල්ලා ඔයා වෙනුවෙන් අවසානයටත් අපිට කරන්න පුළුවන් හොඳ දේ මොනවාද කියලා අපි හිතුවා. පුංචි කාලේ ඉඳලම ඔයාට දුන්නේ හොඳ දේවල්. ඔයාගේ අවසන් හුස්ම පොදිනුත් ඒ දෙය මට කරන්නයි ඕනේ වුණේ…’

දියණියකට හැමදාමත් ධෛර්යසම්පන්න ශක්තියක් වුණේ තාත්තා කෙනෙක්. ජීවිතයේ වීරයා වුණෙත් තාත්තා. දුවකු සහ තාත්තෙකු අතර තියෙන්නේ නොබිඳිය හැකි සම්බන්ධයක්. ජීවිතයේ ඒ ආදරය කළ සම්පත අද නැහැ කියලා දැනුණාම ඒ ආදරයෙන් රැකබලාගත්ත දේ ගිලිහී යනකොට ඇය වෙනුවෙන් අවසානයටත් කරන්නට පුළුවන් යහපත මොකද්ද කියලා හිතුව තාත්තෙකුගේ ඉහත සඳහන් කළ හදවත සසල වන කතාවක් අපට පසුගිය 31 වැනිදා අහන්න ලැබුණා.

පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ 19 වැනි කණ්ඩායමේ ශිෂ්‍යාවක් වූ සචිනි ලක්ෂාණි ගලප්පත්ති කියන්නේ මේ ආදරණීය තාත්තාගේ දියණියයි. සචිනිගේ උපන් ගම වුණේ තංගල්ල පල්ලික්කුඩාව මාලිගාතැන්න ගම්මානයයි. ගාල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන් සහ තංගල්ල බාලිකා විද්‍යාලයෙන් ඇය අධ්‍යාපන ලැබුවා. සචිනි එදා සරසවියේ දේශන නිමාවූ පසු බෝඩිමට පැමිණියේ තම මිතුරියන් දෙදෙනකුද සමගයි. සරසවිය ආසන්නයේ ගලහ පාරේ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරයට ඔවුන් එලෙස පාගමනින් පැමිණෙමින් සිටියා. ඔවුන් පැමිණෙන විට නොසිතූ නොපැතූ ඛේදවාචකයකට මුහුණ දෙන්නට වුණේ දෛවයේ සරදමකට මෙනි.
නොසැලකිලිමත් රියැදුරෙක්ගේ පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් සචිනි සහ මිතුරියන් දෙදෙනාම අනතුරට ලක් කළා. අනතුරුව මෝටර් රථය මාර්ගයේ අනෙක් පසට ධාවනය වී යතුරු පැදියකද ගැටී නතර වුණා. මේ අනතුරෙන් සචිනිගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි මේනක වීරසුරිය සොහොයුරා එම සිදුවීම මෙලෙස සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා.

‘මගේ ඇස් ඉදිරියේම පේරා වළ ළඟ මේ සිදුවීම වුණේ. දුටු විගස දුවලා ගියත් ඔළුව පාරේ තිබූ බැම්මේ වැදී තිබුණේ. පාරේ ගමන් කළ කිසිදු වාහනයකට අත දැමුවත් නැවැත්තුවේ නැහැ. අවසානයේ සරසවි රියැදුරු පුහුණුව ලබාදෙන වාහනයක් පමණක් ඔවුන්ගේ පුහුණුව ලබන අය බස්සවා ඇය සහ ඇගේ මිතුරියන් දෙදෙනා හා අනතුරට ලක්වුණු බයික් එකේ රියැදුරු මහතා වහාම රෝහල්ගත කළා. සිදුවූ දෙය සිතාගත නොහැකියි. මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ. පිටතට පේන්න කිසිදු තුවාලයක් තිබුණේ නැති නිසා…’

මුලින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. සචිනි බරපතළ තත්ත්වයේ පසුවීම නිසා මහනුවර ජාතික රෝහලට මාරුකර යැවුණු අතර, එම රෝහලේ ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකයට ඇයව ඇතුළත් කිරීමටයි වෛද්‍යවරු පියවර ගෙන තිබුණේ. සතියක් පමණ එහි ප්‍රතිකාර ලබමින් සිටියත් ඇගේ තත්ත්වය යහපත් අතට පත්ව තිබුණේ නැහැ. වෛද්‍යවරුන් ඇය පසුවන බරපතළ තත්ත්වයඇගේ මවුපියන්ට පැහැදිලි කළේ ඉන් පසුවයි. සචිනිගේ මොළය ඒ වන විටත් මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් කියා සිටියේ. ඉන්පසු මේ පියා හිතුවේ තම දියණිය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ කුමක්ද යන්නයි. ජීවිතය යදින තවත් මිනිසකු වෙනුවෙන් සචිනිගේ අවයව පරිත්‍යාග කිරීම සඳහා කටයුතු සලසන ලෙස සචිනිගේ මවුපියන් වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා.

බාහිරින් පෙනෙන්නට කිසිදු තුවාලයක් නැතත් අභ්‍යන්තර ලේ ගැලීම් හේතුවෙන් සචිනි ජීවිතය හැරගියා. නොසැලකිලිමත් රියැදුරකු මේ මරණයේ වගකිව යුත්තායි. මේ අනතුරු දුටු වහාම ඇයව රෝහල්ගත කරන්නට කවුරුන් හෝ ඉදිරිපත් වූවා නම් සචිනි අදත් ජීවතුන් අතර සිටින්න ඉඩ තිබෙනවා. නමුත් ඒ අවස්ථාවේ ඇයව රෝහලට රැගෙන යන්නටද ප්‍රමාද වී තිබුණු බවයි දැනගන්නට ලැබුණේ.

සචිනිට මෙවැනි අකල් මරණයක් සිදුවන්නට ඇත්තේ පෙර භවයක ඇය අතින් සිදුවූ යම් අකුසලයක් නිසා බව මවුපියන් සිතන්නට ඇති. තමන් අදහන දහමට අනුව තව කෙනකුගේ යහපත වෙනුවෙන් තම දියණියට පින් පිණිස ඇගේ අවයව පරිත්‍යාග කරන්නටයි ඔවුන් කටයුතු කළේ.

සචිනිගේ හදිසි වියෝව දරාගත නොහැකිව සිටි ඇගේ පියා මෙලෙස සිය ශෝකය පිටකළා.

‘මේ මගේ ලොකු දුව. දැන් එයාට අවුරුදු 23ක්. දුව ඉගෙන ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පළමු වසරේ. මගේ දුවට මේ කරදරය වුණේ වෛද්‍ය පීඨයේ සිට නේවාසිකාගාරයට යන අතරමඟදීයි. පේව්මන්ට් එකේ යනකොට කාර් එකක් ඇවිත් හප්පලා. මගේ දුවගේ ජීවිතයම අරන් ගියා. ඒ වෙලාවේ ඩ්‍රයිවර්ට නින්ද ගිහින් තිබිලා තියෙන්නේ. අපිට විශ්වවිද්‍යාලයෙන් කෝල් කරලා කිව්වා දරුවා ඇක්සිඩන්ට් වෙලා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා කියලා. අපි පේරාදෙණියෙ රෝහලට යනකොට එහෙන් මහනුවර මහ රෝහලට මාරුකරලා තිබුණා. දුවට මේ අනතුර සිදුවුණු දවසේ ඉඳලා සැරින් සැරේ මම වෛද්‍යවරුන්ගෙන් ඇහුවේ සුවකරන්න පුළුවන්ද කියලායි. වෛද්‍යවරු කිව්වේ කොහොම හරි දුවගේ ජීවිතය බේරා දෙන්නට උත්සාහ දරන බවයි. ඒත් මට දැනුණා මගේ දුව අපිව අත්හැර යන්නට සැරසෙන බව. දින කිහිපයකට පසුව වෛද්‍යවරු කිව්වේ දුවව සුව කිරීමට නොහැකි බවත් දැනටමත් දුවගේ මොළේ මියගිහින් ඇති බවයි. වෛද්‍යවරු කිව්වේ ඇගේ අවයව ජීවිතයක් ඉල්ලන කෙනකුට දෙනවා නම් අපේ කැමැත්ත මත සිදුවිය යුතුයි කියලා. ඒ අනුව වෛද්‍යවරු ඇගේ හදවත, පෙණහලු, අක්මාව, වකුගඩු, ඇස් බද්ධ කර තවත් ජීවිතයක් ජීවත් කරවන්නට හැකිදැයි පරීක්ෂා කරන බව කිව්වා. මේ සඳහා මහනුවර මහ රෝහලේ ස්නායු ඒකකයේ වෛද්‍යවරු හෙදියන් මහත් උත්සාහයක් අරගත්තා. දුවගේ රුධිර පීඩනය දිනෙන් දිනම අයහපත් අතට හැරෙන බව වෛද්‍යවරු කිව්වා. හදවත සහ අක්මාව බේරාගන්න බැහැ කිව්වා. ඒත් වකුගඩු දෙක සහ ඇස් බද්ධ කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළා. ඒ අවයව පරිත්‍යාග කරන්න පුළුවන් වීම මට ලොකු සැනසීමක්. දුව මියගියේ 23 වැනි උපන්දිනය සමරලා හරියටම පස්වැනි දවසේදියි. ඒක අපට දරාගන්න බැහැ…’

සචිනිගේ වකුගඩු බද්ධ කර තිබුණේ මාතලේ පදිංචි 47 හැවිරිදි කාන්තාවකටයි. ඇගේ දෙනෙත් රත්නපුර පදිංචි 27 හැවිරිදි පුද්ගලයකුට බද්ධ කර තිබුණා. මෙම ශල්‍යකර්මය සිදුකරනු ලැබුවේ මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍ය චරිත ප්‍රනාන්දු මහතායි.

සචිනිට පේරාදෙණිය සරසවියේ මිතුරු මිතුරියන් ආදරයට කිව්වේ ‘බටිති’ කියලා. පසුගිය 11 වැනිදා තංගල්ල මාලිගාතැන්න පොදු සුසාන භූමියේදි ඇගේ අවසන් කටයුතු සිදුවුණා. සචිනිගේ සරසවි සහෘදයන් ඇතුළු බොහෝ පිරිසකගේ සෝ සුසුම් මැද ඇය සදහටම සමුගෙන ගියා. ඇගේ සමුගැනීම ගැන මිතුරු මිතුරියන් සිය ශෝකය මෙලෙස සටහන් කළ බැනරයක් ප්‍රදර්ශනය කර තිබුණා.

‘සෑම දාකම අප හැමෝටම
සිනා කැන්දන නුඹේ මුවේ
නෑනේ කිසි වෙනසක්
අදත් ඇත
එලෙසින්ම නිසලව ඔබේ
වෙනදා මෙන් නොව අපේ සිනහව
කොහේදෝ දන්නෑ අනේ
සදා අන්කිසි කවර භවයක
මෙසේ නොමවන් බටිතියේ…’

සචිනි සමග එකම පාසලේ අධ්‍යාපනය හැදෑරූ ඇගේ මිතුරියක් වූ ශාදි සිය මුහුණු පොතේ මෙලෙස සටහන් කර තිබුණා.

‘මෙහෙම කියන්න වෙයි කියලා හීනෙකින්වත් හිතුණේ නෑ සචිනි. ඔයාව බලන්න එද්දී ඔයාට සිහියක් නැති වුණත්, ඉක්මනටම ඔයා නැගිටීවි කියලමයි විශ්වාස කළේ අපි. එහෙනම් ගිහින් එන්න. එකට කෑගහලා සින්දු කියන්න, Merlin බලලා කියව කියව ආතර්ව බෙදාගන්න බැරුව රණ්ඩු වෙන්න, Drama Competition වල මෙහෙම එකට රඟපාන්න, මග නවත්තයිද නැද්ද බයෙන් මහවෙල හරහා මාතර බස්වල නගින්නෙ නැතුව කුඩාවැල්ල බස් එකේ පැය ගණන් කොට කොට එකට ගෙදර එන්න, Class වලදී කෑගහලා පිස්සු නටන්න, එක බත් එක ලිහාගෙන කන්න, ශිහාන්ට, දසුන්ට, දස්සාට, සුනීර සුමංගට පණ ඇරලා ආදරේ කරන්න, ආයෙම අපි හම්බවෙමු මගේ සචිනි… මට කියන්න හිතෙන්නෙම එහෙම වුණත්.. අමාරුවෙන් හරි මම මෙහෙම කියන්නම්.. පතන්නම්. ඔයා කරපු පින්වල ආනුභාවයෙන්, ඔයා හොයන අමාමහ නිවනෙන්ම ඔයාගේ ලස්සන ආත්මය නිවී සැනසේවා….’ (තමන්ට වාහනයක් පාරෙ පැදගෙන යන්න බැරි තරමක නිදිමතක්, අපහසුතාවක් තියෙනවා නම් පින් සිද්ධවෙයි වාහනයක් පාරට දාන්න එපා. මේ වගේ අහිංසක වටිනා ජීවිත නිකරුණේ වන්දි ගෙවනවා) – ශාදි

සින්දු අහන්න, සින්දු කියන්න සචිනි හරිම ආස කළා. ඇය සංගීතයට පුදුම ආසාවක් තිබුණේ. ඇගේ ප්‍රියතම ගායකයා වුණේ දෙරණ ඩී්‍රම් ස්ටාර් සුනීර සුමංගය. සචිනි අම්මාගෙන් අපූරු ඉල්ලීමක් කර තිබුණේ සුනීර සුමංග කෙරෙහි තිබූ කැමැත්ත නිසාමය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වූ පසු සුනීරව ගෙන්වා ගීත ගායනා කරන්නට අවස්ථාවක් උදාකර දෙන ලෙස සචිනි සිය මවුපියන්ගෙන් ඉල්ලා තිබුණා. එම ඉල්ලීමට සචිනිගේ මව කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, සුනීර සුමංගටද ඒ බව දැනුම් දීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ. ඒ අවස්ථාවේ සුනීර පවසා තිබුණේ සචිනිට සිය අධ්‍යාපන ඉලක්ක ජයගන්නා ලෙසත්, ඉන් පසුව ඇගේ ඉල්ලීම ඉටුකිරීම සඳහා තමන් පැමිණෙන බවයි. කෙසේ වුවත් සචිනිගේ සරසවි සිහිනය ජයගන්නට පෙර ඇය ජීවිතයෙන් සමුගෙන ගියා. සචිනිගේ ඉල්ලීම ඉටුකරන්න බැරි වීම ගැන ඇගේ මව බොහෝ පසුතැවුණා. සචිනිගේ සහෝදරියක් සුනීරට මේ හදිසි වියෝව ගැන පවසා තිබුණා. සුනීර ඔහුගේ සියලු කටයුතු පසෙක දමා සචිනිගේ අවසාන ඉල්ලීම ඉටුකිරීම සඳහා ඇගේ අවසන් මොහොතට පැමිණ තිබුණා. මුදල් මතම සියලු තීන්දු තීරණ ගන්නා ඇතැම් කලාකරුවන් සිටින සමාජයක තම දියණියගේ ඉල්ලීම ඉටුකිරීමට පැමිණීම පිළිබඳ සචිනිගේ පවුලේ අය සුනීරට ස්තුති කර ඇති අයුරු මුහුණු පොතෙන් අපට දැකගන්නට ලැබුණා. සචිනිගේ අවසන් මොහොතට පැමිණි සුනීර අවමංගල සභාවෙන් අවසර ඉල්ලා සචිනි ඉතා ප්‍රිය කළ මේ ගීය ගායනා කළේ සියලු දෙනාගේ දෙනෙත් කඳුළින් බොඳ කරමින්.

‘සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැලිති නංවා
ගංගාව ඔහේ ගැලුවා
මල් වීදි අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා
වැදි රජුට කඩුව පවරා
වල ළඟදි මනමෙ හැඬුවා
ඒ මතක සියලු තවරා
මහවැලිය ඔහේ ගැලුවා…’

අද සචිනිට ජීවිතයෙන් සමුගෙන යන්න වුණේ නොසැලිකිලිමත් රියැදුරෙකු නිසයි. හෙට ඒ අනතුර ඔබට හෝ ඔබේ සමීපතමයකුට විය හැකියි. පාරේ යනකොට පරිස්සමෙන් යන්න. මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි. ඔවුන්ගේ වැඩේ ගැන විතරයි හිතන්නේ. ආදරය කරුණාව හික්මීම අද මිනිස්සුන්ගෙන් ගිලිහිලා ගිහිල්ලා. රටක නීතියක් විනයක් සදාචාරයක් පැවතිය යුතුයි. එහෙම නැතිවුණු රටක අසරණ වෙන්නේ අහිංසක මිනිසුන්මය. මේ සිදුවීම හරහා දැකගන්නට ලැබුණේ එහි ප්‍රතිඵලයකි.

සචිනි ඔයා වෛද්‍යවරියක් වෙන්න සිහින මැව්වා. ඒ හීනය සැබෑ කරගන්න දුන්නේ නැත්තේ මේ සමාජයයි. ඔයා රටටම පණිවුඩයක් දුන්නා. මැරුණාම මේ මිහිතලයේ ජීවත්වෙන්න වෙර දරන, හුස්ම යදින කෙනකුට අවයව දන් දෙන්න කියලා. ඒ තව කෙනෙක් මැරුණ කෙනා වෙනුවෙන් දවසක් හරි ජීවත්වෙන්න කියලා. ඔයාගේ පණ ගැහුණු හැම අවයවයකින්ම තව බොහෝ දෙනෙක් හෙට දවසේ ලෝකය දකිනවා. හොඳ තැනක ලස්සනට පිපෙන්න සචිනි… අපි ඔයාට ආදරෙයි…

තමා දිවි හැර සුක..
දමා ගිය කය දෙනු දැක..
විමානෙක මතු එක..
නිමා කළ මැන ඇගේ බව දුක
(ලිහිණියා)

නිලන්ති රේණුකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here