ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13ක වැඩ විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති රුපියල් කෝටි 33කට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
එම ව්‍යාපෘති 13 2021 වර්ෂයේ යෝජිත සහ පෙර වර්ෂවල සිට ඉදිරියට ගෙන ආ ව්‍යාපෘති වන අතර එහි ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි එකසිය පහළොවක් වී තිබේ. පසුගිය 2021 වසරේ දෙසැම්බර් 31 දිනට ඒවායේ වියදම රුපියල් කෝටි තිස් දෙකක්වූ බව විගණන වාර්තාවක සඳහන් වේ.
මේ අතර ක්‍රීඩා ව්‍යාපෘති 24ක් සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට රුපියල් කෝටි 90කට වැඩි මුදලක් වැය කර තිබී ඇති නමුත් විවිධ හේතු මත මින් ව්‍යාපෘති ගණනාවක වැඩ නිමකිරීම ප්‍රමාදව තිබී ඇත. ඒ හේතුවෙන් එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති මුදලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට අපහසුවී තිබූ බවද විගණන වාර්තාව සඳහන් කරයි.