රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සංවිධානය පවසන්නේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නතර කළ යුතු බවයි.
ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවයි ඔවුන් පවසන්නේ.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ ඒවාට සහභාගී වන පුද්ගලයින් අපරාධකරුවන් ලෙස සැලකීමට ත්‍රස්ත විරෝධී නීති භාවිත නොකළ යුතු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට පියවර ගත යුතු බව ක්ෂමා සංවිධානය නිවේදනය කරනවා.






