Home Local News Room : චන්ද්‍රිකාගේ ආරක්ෂකයෙක් පැහැරගනී! දවසකට පසු බෙලිඅත්තෙන් දමාගිහින්!

News Room : චන්ද්‍රිකාගේ ආරක්ෂකයෙක් පැහැරගනී! දවසකට පසු බෙලිඅත්තෙන් දමාගිහින්!

0
0

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකුව පැහැරගෙන ගොස් නිවසක සිරකර තබාගෙන රුපියල් 40,000ක මුදලක් කොල්ලකෑ බවට වේයන්ගොඩ පොලීසියට ලද සැකකටයුතු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම පැහැර ගැනීම සිදුවූයේ යැයි කියනුයේ පසුගිය 02 වෙනිදාය. වේයන්ගොඩ පොලීසියට ඔහු පැමිණිලිකර ඇත්තේ වේයන්ගොඩ පිහිටි නිවසේ සිට සිය මස්සිනා සමඟ යතුරු පැදියකින් වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත එදින පැමිණි බවය. වේයන්ගොඩින් දුම්රියට ගොඩවී මරදානෙක් බැස පාගමනින් යමින් සිටියදී ගාමිණි හෝල් හංදිය ආසන්නයේදී නිල්පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ගාලුපාර දෙසට යන්නේ කෙසේදැයි තමාගෙන් විමසූ බව ඔහු සඳහන් කරයි.

ඊට පිළිතුරු දෙන අතර වෑන් රථයෙන් බැස ගත් අයෙක් තමාව වෑන් රථයට ඇද දමාගෙන දෑස් බැද රැගෙන ගිය බව ඔහු පොලිසීයට පවසා තිබේ.

තමාව නිවසකට රැගෙන ගිය බවත් කන්න බොන්න පවා දුන් බවත් ඔහු පොලීසියට කියා ඇත. එදින රැය එම නිවසේ ගත කළ බවත් උදෑසන යම් පුද්ගලයෙක් “ උඹලට හරියට වැඩක් කරන්න දන්නේ නැහැ. ගේන්න කියපු එකාව නෙමෙයිනේ ගෙනත් තියෙන්නේ.“ යැයි පවසමින් තමාව නැවත ගිහින් දාන්නයැයි කී බවද මෙම සැරයන්වරයා වේයන්ගොඩ පොලීසියට පවසා තිබේ.

එහිදී තමා සතුව තිබුණු රුපියල් 40,000ක මුදලක් ලබාගෙන නැවතත් දෑස් බැද වාහනයක දමාගෙන ගොස් අතහැරිය බවත් සොයා බැලීමේදී තමාව දමාගොස් තිබුණේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් බවත් ඔහු පවසයි. මුදල් අතේ නොතිබුණු බැවින් සිය බිරිදට දුරකතන ඇමතුමක් දී බැංකුවට රුපියල් 10,000ක් දමාගෙන එය ඒ.ටී.එම්. කාඩ්පතින් ලබාගෙන නිවසට පැමිණි බවද ඔහු පවසයි.

සැරයන්වරයාගේ බිරිද 02 වෙනිදා සවස සිය සැමියා අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් කර තිබුණු බව පොලීසිය කියයි. ඒ උදෑසන රාජකාරි සඳහා ගිය සිය සැමියාගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වී ඇති බව සඳහන් කරමිනි.

ආරක්ෂක කැමරා දත්ත විමර්ශනය කරමින් මෙම පැමිණිල්ල ගැන විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here