බලශක්ති අංශයේ වෙනස්කම් අතර ප්‍රවාහනයද අලුත් වටයකින් නැවුම් ප්‍රවේශයක් කරා යොමු වෙමින් පවතී. ජාත්‍යන්තරයේ සිදුවන පරිවර්තනයට ශ්‍රී ලංකාවද ඇතුළු විය යුතුය. ගල් අඟුරු, දැවිතෙල් විදුලිය නිපදවීම සඳහා භාවිත කිරීම අත්හරිමින් තිබේ. ද්‍රව ගෑස් පවා සීමා කරන බව දැක්වේ. සූර්ය තාපය, සුළං බලය හා හයිඩ්රජන් උපයෝගි කරගෙන අඩුම වියදමකින් විදුලිය උත්පාදනයට රටවල් නැඹුරුවෙමින් සිටී. නිපදවන විද්‍යුත් වාහන ධාවනයටද භාවිත කෙරේ. යුරෝපා, බටහිර පමණක් නොව චීනය හා ඉන්දියාවද විදුලිය වාහන භාවිත කරන සැලැස්මකට ඇතුළු වී ඇත. අඩු මිලට විදුලිය නිපදවීම පමණක් නොව විදුලිය මඟින් වාහන ධාවනයටද රටට අවස්ථාවක් තිබේ.
විදේශ ගතව රැකියා කර, නීත්‍යනුකූලව විනිමය එවන ශ්‍රී ලාංකිකයන්ට බදු අඩු කර විදුලිය වාහන ආනයනයට ඉඩ දෙන බව නිවේදනය කර ඇත. විදුලිය බලයෙන් ආරෝපනය වන බැටරියකින් ධාවනය වන වාහන බහුල කරන්නට කලින් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුව ඇත. රටට අවශ්‍ය විදුලිය උත්පාදනය ප්‍රශ්නයක් වී තිබේ. විදුලිය ගාස්තු වැඩි කළේය. විදුලිය සඳහා අතිරේක බදුද පනවා තිබේ. ඉදිරි අය – වැය තවත් වටයකින් විදුලිය ගාස්තු වැඩි කරන්නට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වේ. බදු අඩු කර ගෙන්වන වාහන නඩත්තු කරන්නේ කෙසේද? බලාපොරොත්තු පෙරදැරිව වාහනයක් සඳහා සිහින මවන රටවිරුවන් ගැටලුකාරී අවසානයකට තල්ලු කිරීම සුදුසු නැත.
රට රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට දෙන සහන
අය – වැය යෝජනා ඔස්සේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහන දෙන බව නොයෙක් අවස්ථාවල ප්‍රකාශ කර තිබේ. කර්මාන්ත හෝ ව්‍යාපාර අරඹන්නට යන්ත්‍ර සූත්‍ර ආනයනයේදී තීරු බදු අත්හරින බව නිවේදනය කළේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමට කලින් බව මතක් කළ යුතුය. බදු කෙසේ වෙතත් නැව්වලින් ගෙන එන කන්ටේනර්වලට පවා අලාභහානි කරන අතර ගුවනින් එන මගීන් ගුවන්තොටුපොළේදී හිරිහැරයකට ලක්කරන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. කර්මාන්ත සඳහා ගෙන එන ලද උපකරණවලට බදු සහන ලැබී තිබේද?
නැවත මවුබිමට පැමිණි පසු ව්‍යවසාය අරඹන්නට අඩු පොලියට ණය දෙන බවද රජය නිවේදනය කරන ලද කරුණකි. එවැනි යෝජනාක්‍රම වාණිජ බැංකුවල නැත. ව්‍යාපෘති ණය පොලිය සියයට විසිඅට දක්වා වැඩි වී තිබේ. එවැනි විශාල පොලියකට ණය ගැනීමෙන් ආරම්භ කළ හැකි ව්‍යවසාය කුමක්ද? අලුත් ව්‍යවසාය ඇති කරන අපේක්ෂා ඇති රටට ප්‍රමාණාත්මක ආයෝජන ශක්තියක් සහිතව රටට එන පිරිස ගැන අවධානය යොමු කිරීමේ වගකීමක් තිබේ. ආපසු එන විදේශගතව රැකියා කළ පිරිස් ඉඩමක් මිලදී ගැනීම හැර අනෙක් ආයෝජනයකට අවස්ථා නැත. විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය රටට ලබාගැනීමට වෑයම් කරන නමුත් ඔවුන්ට නිසි ගරුත්වයක් දෙන්නේ නැත.
ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ලෝකයේ රටවල්
හතළිහක ජනී ජනයා මිලියන 320ක් පමණ එකිනෙකට වෙනස් රටවල රැකියා කරති. එය විශාල ආදායම් උත්පාදන මාර්ගයක් වී තිබේ. නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශගත රැකියාවලට යොමු කිරීම ප්‍රතිපත්තිය වී ඇත. 2022 වසරේ ජනවාරියේ සිට අගෝස්තු දක්වා කාලය තුළ පමණක් 1,92,597ක පිරිසක් පිටරට රැකියා සඳහා ලියාපදිංචි වීමෙන් පසු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මිලියන දෙකකට වැඩි පිරිසක් විදේශගත සේවයෙහි නිරතය. තවත් සෑහෙන පිරිසක් ජපානය, කොරියාව, බි්රතාන්ය වැනි රටවල අවස්ථා සොයමින් සිටිති. ජපන් හා කොරියා භාෂාව අධ්‍යයනයට තරුණන් යොමු වී ඇති අතර රට තුළ ඇති දරුණු ආර්ථික තත්ත්වයෙන් ගැලවී එම රටවලින් අවස්ථා සොයාගැනීමට තරුණ පෙළ උත්සුක වෙමින් සිටී.
වාර්තා දක්වන පරිදි ශ්‍රී ලංකාව ශ්‍රමය හිඟ රටකි. තරුණ ජනගහනය අඩු වෙමින් පවතින අතර වැඩි වයස් පිරිස ප්‍රතිශතයක් වශයෙන් ඉහළයමින් තිබේ. දක්ෂ තරුණ පිරිස රටට අවශ්‍යය. රටට හිඟ ශ්‍රමය එතෙර යැවීම අනුචිත ක්‍රියාවකි. රට තුළ කර්මාන්ත ව්‍යාපාර බහුල කළහොත් අවස්ථා ඇතිවේ. එහෙත් ආණ්ඩුවේ සූදානම බදු පැනවීම බව පෙනේ. අධික බදු පනවන රට තුළ පැවැත්ම අසීරු වී ඇති අතර ජනී ජනයා රට හැර යන ප්රයත්නයකය. ඔවුන්ට තවත් සහනදී පලායනන්ට ඉඩදීම ආණ්ඩුවේ උත්සාහය බව පෙනේ.
විද්‍යුත් වාහන ගෙන්වීමේ අවසරයද නොදෙවැනි එකකි
විද්‍යුත් වාහන ආනයනයට ඉඩ දෙන යෝජනාවද උදාසීන ක්‍රියාවලියක් බවට පත්වනු ඇත. සහනය සඳහා නීත්‍යනුකූල ක්‍රමයට මුදල් එවිය යුතුවේ. විදුලිය වාහනයක මිල අනුව ඒවා ගෙන්වීම සාමාන්‍ය ශ්‍රමිකයන්ට හැකියාවක් නැත. ඇමරිකානු ඩොලර් විසි දහසක් පමණ වන වාහනයක් ගෙන්වීමට තරම් ශක්තියක් ඇති පිරිස සීමිත බව සඳහන් කළ යුතුව තිබේ. විදුලිය බලයෙන් ආරෝපණය වන බැටරි සහිත වාහන ගෙන්වූ පසු ඒවා නඩත්තු කරන්නේ කෙසේද? ඒජන්තවරුන් නොසිටීම ශ්‍රී ලංකාවේ මෙම වාහන ප්‍රචලිත නොවීමට බලපා ඇති එක හේතුවකි.
වාහන ගෙන්වීමෙන් පසු ඇති අවශ්‍යතා සඳහා පසුබිමක් රහිතව ගෙන්වීම ප්‍රශ්න ඇති කරනු ඇත. විශේෂයෙන් බැටරියේ ආයු කාලය ගැන සලකා බැලිය යුතුය. විදුලිය බලයෙන් ආරෝපණය වන බැටරි භාවිත කළ නොහැකි තත්ත්වයට පත් වූ පසු විනාශ කරන්නට සිදුවේ. පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රමයක් නැත. ලෝකයේ බොහෝ රටවල් බැටරි ප්‍රතිචක්‍රියකරණයට යවයි. ජපානය වැනි රටවල් ඒවා වෙනත් ප්රයෝජනවලට ගනී. රාත්‍රි කාලයේ කුඩා අවන්හල් ආලෝකවත් කිරීමට වාහනවලින් ඉවත් කරන බැටරි භාවිත කරන බව දැක්වේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ගෙන්වන අවසර දෙන විදුලිය වාහනවල අනාගතය පැහැදිලි නැත.
විදුලිය බලයෙන් ධාවනය වන වාහනවල බැටරි ආරෝපණය කරන්නේ කෙසේද?
තවමත් මේවා දුර ධාවනයට අවස්ථා නැත. යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුව තිබේ. පෙට්‍රල් ෂෙඩ් හා සමානව ආරෝපන මධ්‍යස්ථාන ඇති කළ යුතුය. රට පුරා විද්‍යුත් වාහන ආරෝපණය කරන ස්ථාන සියයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. එහෙත් මේවා සඳහා අවසර නැත. අලුත් ව්‍යවසාය වශයෙන් හැදෙන්නේ එයට වාණිජ පසුබිමක් නිර්මාණය කිරීමෙන් පමණකි. විදේශගත ශ්‍රමිකයන් පමණක් නොව රජයේ ආයතන සඳහාද විද්‍යුත් වාහන ගෙන්විය හැකිය. මැති ඇමැතිවරු, නිලධාරීහු මෙම අඩු පිරිවැය සැහැල්ලු වාහන සඳහා පෙලඹවීම පවතින ආර්ථිකය අසීරුතාව ඉදිරියේ හොඳ තිරණයකි. අවාසනාවකට රජයේ නිලධාරීන් පමණක් නොව ඇමැතිවරුද මේවාට කැමැති නැත. විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැතිවරයා හෝ එවැනි ප්‍රවණතාවකට සූදානම් නැත.
විදුලිය නිපදවීම ගැනද අවධානයක් අවශ්‍යය
විද්‍යුත් වාහන ගෙන්වීම දිරිගැන්වීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව වසර 2040 සිට ඉන්ධන භාවිත කරන වාහන ආනයනය නතර කරන බව 2018 අය – වැය යෝජනාවක දක්වා තිබිණි. හරිත රටක් ගොඩනඟන මෙම යෝජනා රටට දැන් මතක නැත. සැලැස්ම අනුව තවත් වසර අටක් තුළ ඉන්ධන භාවිත කරන වාහන ගෙන්වීම නතර කිරීම සිදුවිය යුතුය. දැන් සිටම පෙළ ගැස්මක් අවශ්‍යය. රටට අවශ්‍ය තරමට විදුලිය නැත. තවමත් දවසකට පැය කිහිපයක් විදුලිය විසන්ධි කෙරේ. විදුලිය උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් හා ගල් අඟුරු ගෙන්වීමට විනිමය නැත. විනිමය සංචිතය පිරිහී ඇති අතර ඉකුත් අප්‍රේල් මාසයේ සිට විදේශ ණය හා පොලිය ගෙවීමද අත්හිටුවා තිබේ. තාවකාලික විනිමය සංචිතයක් ලබාගැනීමට ආණ්ඩුව වෑයම් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංචිතය සැපැයීමට සූදානම් නමුත් රට තුළ ප්‍රතිසංස්කරණ සඳහා බලකිරීමක් පවතින බව පෙනේ. විශේෂයෙන් විදේශ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කරන ලෙස යෝජනා කර ඇත. විදුලිය නිපදවීම සඳහා ඉන්ධන ගෙන්වීමට රටට විනිමය අවශ්‍යය. පසුගිය කාලයේ ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 750ක් දක්වා ඉන්ධන සපයා තිබේ. සෞදි අරාබිය, රුසියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සපයන සූදානමක බව ප්‍රකාශ වූ නමුත් ඒවා ක්‍රියාවට නැංවී නැත.
සූර්ය තාපය විදුලියට හරවා බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබේ. වසර පුරා හිරු එළිය හොඳින් ලැබෙන රටක් වශයෙන් සෑහෙන වාසිදායක අවස්ථා ඇත. ආසියානු සංවර්ධන බැංකුව ගෘහ අවශ්‍යතා සඳහා සූර්ය විදුලිය භාවිත කරන යෝජනා ක්‍රම වෙනුවෙන් විශේෂ ණය ආධාරයක්ද සපයා තිබේ. ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් මිලියන සියයක ණය ආධාරයක් අනුමත කර ඇත. පෞද්ගලික අංශයේ මධ්‍ය පරිමාණ සූර්ය විදුලි උත්පාදන ව්‍යාපෘති දෙසියහැත්තෑ ගණනක් අනුමැතිය සඳහා පවතින බව වාර්තා දක්වයි. මේවා ක්‍රියාවට නැංවුවහොත් රටට අවශ්‍ය විදුලිය ප්‍රමාණවත්ව ලැබේ.
සිස්ටම් වෙනස් කරන්නට බලකරන ජනතාව විකල්ප බලශක්තිය ගැන අවධානයක් නැත. රජයේ නිලධාරීහු අලසය. ක්‍රමයෙන් යැපෙන පිරිස ව්‍යුහය වෙනස් කරන්නට කිසිසේත් ඉඩ නොදෙන බව පෙනෙන කාරණයකි. නියාමන අධිකාරිය මේවා ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? විදුලිය අඩු මිලට නිපදවුවහොත් පාරිභෝගිකයන්ට පමණක් නොව ප්‍රවාහන අවශ්‍යතාවලටද පිරිවැය අඩුවේ.
ප්රවාහනයටද විදුලිය නිපදවන්නටද අවශ්‍යතා සලකා ආනයනය කරන ඉන්ධන සීමා කිරීමෙන් විශාල ආර්ථික සහනයක් අත්පත්වේ. ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ආනයනය කරන රටකි. අපනයන වියදම්වලින් සියයට විසිපහක කොටසක් ඉන්ධන ගෙන්වන්නට වැය කෙරේ. ආනයනය කරන ඉන්ධනවලින් සියයට හැටක් ප්‍රවාහනයට බව දැක්වේ. ඉන්ධන දහනය කිරීම නිසා පරිසර ප්‍රශ්න මතු වී තිබේ. අනෙක විනිමය හිඟය මත සංකීර්ණ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවී ඇත. නමුත් මෙම පවතින සාම්ප්‍රදායික රාමුවෙන් ගැලවෙන්නට ආණ්ඩුව සූදානම් නැත. මේවා සලකා බැලිය යුතු කරුණු වශයෙන් දැක්විය හැකිය.
අලුතින් හිතන්නට සැලැස්මක් අවශ්‍යය
සූර්ය කෝෂ හ¾දුන්වාදී වසර දහයකට වැඩි කාලයක් ගත වී ඇති නමුත් තවමත් මෙරට විදුලිය බල පද්ධතියට සූර්යතාප විදුලිය එකතු වීම දශම ගණනකි. දස ලක්ෂයක් නිවාසවලට සූර්ය විදුලිය සැපයුවහොත් එය ගල් අඟුරු බලාගාරයක් අලුතින් ඉදිකිරීම වළකන තරමට ව්‍යාපෘතියක් විය හැකිය. ඉන්දියාවේ මංතීරු හා පාලම්වල පවා සූර්ය කෝෂ සවි කරයි. සෑම දුම්රිය ස්ථානයක්ම සූර්ය විදුලිය උත්පාදනයට පැවැරේ. ඒවා කරන්නේ පෞද්ගලික අංශයයි. චීනය, ඇමරිකාව වැනි රටවල් ලෝකයේ විශාලතම සූර්ය තාප නිෂ්පාදනයෙහි නිරතය. ජපානය අලුත්ම සොයා ගැනීම් කරමින් සිටී. මෙම රටවලට වසර පුරා හොඳට හිරු එළිය
නොලැබේ. සූර්ය තාපය ප්‍රමාණවත්ව ඇති ශ්‍රී ලංකාව ප්‍රමාණවත් වෙනස්කම් සඳහා සූදානමක් නැත. පසුගියදා සූර්ය විදුලිය සපයන්නන් වෙනුවෙන් මෙතෙක් ගෙවන ලද ඒකකයකට රු. 22ක මුදල රු. 35 දක්වා නංවා ඇත. එය දිරිමත් කරන තීරණයකි. විනිමය අනුපාතිකය අනුව සෝලා සිස්ටම් සඳහා ආයෝජනය කළ යුතු මුදල විශාල ලෙස ඉහළ ගොස් ඇත. ගෙවීම් සංශෝධනය එයට උත්තරයකි. විදුලියෙන් ධාවනය කෙරෙන වාහනයක් පමණක් නොව ඒවා ආරෝපණයට සූර්ය කෝෂ පද්ධතියක්ද අඩු පොලී අනුපාත යටතේ සැපැයීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය. ආසියානු සංවර්ධන බැංකු යෝජනා ක්‍රමය යටතේ එම පහසුකම තිබුණ නමුත් එය අහෝසි කර ඇත.
කොවිඩ් තර්ජනයෙන් ගැලවී අලුත් යුගයකට ඇතුළු වන විට රථවාහන විදුලියෙන් ධාවනය වන අතර නිවාස සූර්ය විදුලියෙන් ආලෝකවත් වන තැනට ප්‍රතිපත්ති සකස් කිරීම සුදුසුය. රජය මෙහෙයවනු වෙනුවට පෞද්ගලික අංශයට අවස්ථාව සැපයීම වැදගත්ය. ඉන්ධන අලෙවිසලක් ඉදි කරන හා සමානව දිවා කාලයේදී වාහන ගාල් කරන අතර ඒවා විදුලියෙන් ආරෝපනය කරන තැන් ඇති කර යටිතල පහසුකම් නැංවිය හැකිය. යටිතල පහසුකම් හැදෙනවිට බලශක්ති භාවිතාව සම්බන්ධ රාමුව වෙනස්වනු ඇත. ඒවා වෙනස් නොකර ජනතාවට වාහන ගන්නට පමණක් අවස්ථා සැලසීම තවත් වටයකින් ඉතාම සංකීර්ණ ගැටලු ඇති කරන බව සඳහන් කරන්නට අවශ්‍යය.
ශාමින්ද වත්තේගෙදර