Home Local News Room : සමසමාජවාදය ආගම් විනාශ කර දමන නාශ්තික ධර්මයක්ද?

News Room : සමසමාජවාදය ආගම් විනාශ කර දමන නාශ්තික ධර්මයක්ද?

0
0

සමසමාජයට පක්ෂව සහ විරුද්ධව ලියුම් කිහිපයක් මේ දවස්වල ප්‍රසිද්ධ පත්‍රවල පළවිය. විරුද්ධ පක්‍ෂයේ ලියුම්වල ගෙනහැර දක්වා තිබෙන ප්‍රධාන කාරණය නම් සමසමාජය ආගම්වලට විරුද්ධ එකක් බවත් එහෙයින් මනුෂ්‍යයාගේ පරලොව අභිවෘද්ධියට අන්තරාදායක එකක් බවත්ය. මේ සම්බන්ධව ඉතාම වේගවත් කරුණු දක්වන්නෝ රෝමානු භක්තිකයෝය. අපි වනාහී සමසමාජයට පක්‍ෂ වූ හෝ විපක්‍ෂ වූ අය නොවෙමු. අපගේ හැඟීමේ හැටියට සමසමාජයද නාට්සි, ෆැසිස්ට් ආදී දේශපාලන පක්‍ෂවලින් එකකි. මේ එකක් ගැනවත් විශේෂ ඇල්මක් හෝ විරුද්ධකමක් අප තුළ නොමැතියි.

නමුත් සත්තකින්ම අපි අසත්‍යයට සහ හිංසාවට තදින්ම විරුද්ධ වන්නෙමු. එහෙයින් සමසමාජය හෝ වේවා නාසිට් පක්‍ෂය හෝ වේවා වෙන යම්කිසි දේශපාලන පක්‍ෂයක් හෝ වේවා අධර්මය එහි පවතී නම් එම අධර්ම කොට්ඨාසයට අපේ විරුද්ධතාව ඇති වන්නේය. කොයි දේශපාලන පක්‍ෂයකින් වුවත් රටට අයහපතක් සිදුවේ නම් එය වැළැක්වීමට උත්සාහ කිරීමත් යහපතක් සිදුවේ නම් ඊට අනුබල දීමත් අපේ යුතුකම වශයෙන් සලකමු. එහෙයින් රටේ බොහෝ දෙනකුගේ සාකච්ඡාවට සහ කැලඹීමට හේතුවී තිබෙන සමසමාජය පිළිබඳව මධ්‍යස්ථ වූ අපගේ අදහස්ද සැකෙවින් දැක්වීමෙන් සමහර විට ප්‍රයෝජනයක් ඇති වන්නට පුළුවන.

සමසමාජවාදයට විරුද්ධව ගෙන හැර දක්වන ප්‍රධාන කාරණා දෙකකි. එනම් පොහොසතුන්ගේ ධනය ආණ්ඩුව සන්තක කොට එය සියලු දෙනා අතරේම සමසමව බෙදී යන පරිදි ක්‍රියා කළ යුතු යැයි සමසමාජවාදීන්ගේ කීම සහ ඔවුන් තුළ ආගම් කෙරෙහි ඇති විරුද්ධතාවන් යන මේ දෙකම පිළිබඳ නිසි දැනගැන්මක් ඇති කර ගැනීමට නම් ඊට විරුද්ධ වීමක් හෝ අස්ථාන භීතියක් ඇතිකර නොගෙන අපක්‍ෂපාතීව ඒ ගැන කල්පනා කර බැලිය යුතුයි.

රටක සැබෑ අභිවෘද්ධිය ඇති වීමට නම් සියලු දෙනාගේම ආරක්‍ෂාව ආණ්ඩුව විසින් ඇතිකර දිය යුතුයි. උස් – පහත්, උගත් – නූගත් සෑමදෙනාටම එය යුක්තියක් එක ආරක්‍ෂාවක් ඇතිවිය යුතුයි. සියලු දෙනාටම යුක්තිය ඉෂ්ට කරගන්නට යෑමේදී ටික දෙනකුට දඬුවම් කිරීමටද ආණ්ඩුවට සිදුවන්නේය. මිනීමරුවෝ රටේ සිටිත් නම් පොදු ජනයාගේ යහපත පිණිස ඔවුන්ට දඬුවම් දිය යුතුයි. එසේ දඬුවම් දීම ගැන ආණ්ඩුවකට ‍ෙදාස් නැඟිය නොහැකියි. එලෙසම යම් කෙනෙක් අනුන්ගේ දේ පැහැර ගනියි නම් එසේ නැතහොත් වංචාවෙන් හෝ කපටි නුවණින් අනුන්ගේ වස්තුව තමන්ට අයිතිකර ගනියි නම් එබඳු අය සමාජයේ සතුරන් වශයෙන් සලකා ඔවුන් පැහැරගත් දේ හෝ කපටිකමින් තමන් සතු කරගත් දේ ආපසු ගෙන හිමියන්ට භාරදීම මහජනයාගේ

සුබසිද්ධිය සඳහා පවත්නා කොයි ආණ්ඩුවක වුවත් ප්‍රතිපත්තිය විය යුතුයි. සොරා සොර බඩුව තමා ළඟ එක දවසක් තබා ගත්තත් අවුරුදු ගණනක් තබා ගත්තත් එසේ නැත්නම් එය තම දූ දරුවන්ට අයිති කර දුන්නත් එහි නියම අයිතිය සොරාට හෝ සොරාගේ දූ දරුවන්ට නොව පළමු හිමිකාරයන්ටය. එහෙයින් එම සොර බඩු කවදා නමුත් සොරාගෙන් හෝ ඔහුගේ දරුවන්ගෙන් ගෙන සැබෑ අයිතිකාරයන්ට දීම ගැන විරුද්ධ වීමට යුක්තිය ගරු කරන කිසිවකුට ඉඩක් නොමැතියි. බඩුව අයිති තැනැත්තා මෝඩයෙක් යැයිද සොරා ඔහුට වඩා ඥානයෙන් හා වීර්යයෙන් උසස් කෙනෙක් යැයිද කීම බඩුව සොරාට හිමිවීමට කාරණයක් නොවන්නේය.

මීළඟට ධනපතීන් පිළිබඳව මඳක් සොයා බලමු. අද ලෝකයේ ආර්ථික තත්ත්වයේ හැටියට කෙනකුට පොහොසත් වන්ට හැක්කේ තමන්ට වඩා වීර්යයෙන් හෝ ඥානයෙන් හෝ කපටිකමෙන් අඩු වූ තවත් බොහෝ දෙනකුත් දුප්පත් කිරීමෙන් හෙවත් ඔවුන්ගේ ධනය තමන් සතුකර ගැනීමෙනි. එසේ ඇතිකර ගන්නා ලද ධනයට එම ධනපතියෝ හිමිකාරයෝ නොවෙති. ඔවුහු අනුන්ගේ දේ රවටා ගන්නා චෞරයෝ වෙති. මේ රැවටීම සහ වංචාව ඉතා දක්‍ෂ ලෙසද සමහර විට ධාර්මික වේශයක් ලොවට පෙන්වමින්ද කරනු ලබන හෙයින් රැවටෙනු ලබන්නෝ පවා එහි ඇති භයානකකම හෝ අධාර්මිකකම නොදනිත් ඇතැම් විටක කපටි ඥානයේ සූක්‍ෂ්මතාව නිසා ධනය රැස්කරන්නෝ පවා තුමුම මුළා වූවාහු තම වංචනික ස්වභාවය නොදනිති.

සත්‍යය සහ අවිහිංසාව ගරු කරන කෙනකුට පොහොසත් වීම පහසු වැඩක් නොවේ. ඉදිකටුවේ හිල ඇතුළෙන් ඔටුවකු රිංගා යෑමටත් වඩා පොහොසතෙක් ස්වර්ගයට යෑම දුෂ්කරයි ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කළේය. නිවන් යන මඟ එකෙක, ධනය උපදවන මඟ අනිකෙකැයි බුදුරජාණන් වහන්සේද දේශනා කළ සේක. මේ දේශනා හිස් ඒවා නොවෙති. කොටින් කියතහොත් ධනපතියාගේ ධනය දැහැමින් සපයන ලද්දක් වීම පහසු නොවේ. එය නොයෙක් අධාර්මික ක්‍රියාවලින් තමන් සන්තක කරගන්නා ලද්දකි. අද රටේ ත්‍යාගවන්තයන් මෙන් පෙන්වා සිටින ධනපතියන් කිහිපදෙනෙක් ස්වකීය ධනය රැස්කරගත් සැටි අපි පෞද්ගලික වශයෙන් දනිමු. එබඳු අයගේ ධනයේ නියම හිමිකාරයෝ ඔවුන් විසින් රවටනු ලැබූ මහජනයායි.

එහෙයින් යම් සේ සොරුන්ගෙන් සොර බඩු ආපසු ගෙන නියම හිමියන්ට දීම ධාර්මික ආණ්ඩුවක යුතුකමක් වන්නේද එමෙන්ම වර්තමාන ධනපතීන්ගෙන් ධනය ගෙන ආපසු නියම හිමිකාරයන් වූ මහජනයාට දීම ධාර්මික ආණ්ඩුවක් විසින් අවශ්‍යයෙන්ම කළ යුතු යුතුකමකි. අද අපේ ආණ්ඩු එසේ නොකරන්නට හේතුව අපේ පාලකයන්ද මේ හොරකමෙහි යෙදී සිටින හෙයිනි.

“සමසමාජවාදීන් ආගම කෙරෙහි පවත්නා අදහස් ගැනද අපක්ෂපාතව මොහොතක් සිතා බැලිය යුතුයි. කොමියුනිස්ට්වරුන් විසින් රුසියාවේ පල්ලි බොහෝ ගණනක් විනාශ කර දමන ලද බව සත්‍යයකි. නමුත් ඔවුන් විසින් එසේ කරන ලද්දේ ධර්මය කෙරෙහි ඇති විරුද්ධතාවකින් නොව එවකට රුසියාවේ සිටි පූජක කෛස්තවයන් කෙරෙහි පැවැති විරුද්ධතාවයෙනි.

රුසියාවේ ක්‍රිස්තියානි දේවගැතිවරු වැසියාගේ ඓහලෞකික පරලෞකික සුබසිද්ධියට වැඩ කරනවා වෙනුවට පාලක පක්‍ෂයට එකතුවී මහජනයා පෙළන්නට පටන් ගත්හ. වෙන රටක නොපැවැති තරම් රෞද්‍ර ලෙස මෙය සිදුවිය. පව්කාරයන් ස්වර්ගයට යැවීමට යැයි කියමින් දුප්පත් රටවැසියන් විසින් උපදවන ලද ස්වල්ප ධනයෙන් කොටසක් පූජකවරු වංචා කර ගත්හ. නමුත් රටවැසියා මරණාසන්න වූ අවස්ථාවෙහි පවා ඔවුන්ට කිසිම ආධාරයක් දේවගැතිවරුන් නොකරන ලදී. 1921දී රුසියාවේ

භයානක සාගතයක් ඇති විය. සමරකාන්ඩ් නම් පළාතේ දැරිය නොහැකි සාගින්නෙන් පෙළුණු ඇතැම් මවුපියෝ තම දරුවන් මරා කෑහ. සාගතයේ භයානකකම මෙයින් වටහාගත හැකියි. පිටරටින්වත් ආහාර ටිකක් ගෙන්වා ගැනීමට ධනයක් වැසියන් අතර ඉතුරු නොවීය. නමුත් පල්ලිවල ධනයෙන් අඩුවක් නොවීය. සාගතය ඉවසාගත නොහැකිවූ වැසියෝ පූජකවරුන්ගෙන් පිහිට ඉල්ලූහ. ඔවුන්ට ලැබුණු එකම පිහිට නම් පූජකවරුන් දෙවියන් වහන්සේට යාඥා කිරීම පමණකි. එකල්හි කුපිත වූ ගම්වැසියෝ පල්ලි කඩා එහි තිබූ ධනය පිටරට යවා ධාන්‍ය වර්ග ගෙන්වා ගත්හ. කරුණු මෙසේ තිබියදී කොමියුනිස්ට්වරුන් පූජකයන් කෙරෙහි කලකිරී මෙසේ කිරීම ගැන අපි කුමට පුදුම වෙමුද?

රුසියන්වරුන් දැන ගෙන සිටි එකම ආගම ක්‍රිස්තියානි ආගමය. එහෙයින් ක්‍රිස්තියානිය කෙරෙහි කලකිරීමක් සමඟම ආගම යන නාමයෙන් හඳුන්වනු ලබන කොයි දෙය කෙරෙහිත් කලකිරීම ස්වභාවයෙන්ම සිදුවිය. එහි සිදුවූයේ ඇහැලේපොළ අධිකාරම්තුමා කෙරෙහි කුපිත වූ සිංහල රජු ඇහැල ගස් පවා උදුරවා දැමීම වැනි ක්‍රියාවකි. නමුත් රුසියන්වරු ධර්මයට ප්‍රතිපක්‍ෂ යැයි කීම නුසුදුසුය. පල්ලි යෑමක් හෝ ඔරසන් කීමක් නැතිවූ තරමින් ඔවුහු ධර්මයට විරුද්ධ වූවෝ නොවෙති. සමසමාජ රුසියාවේ වැරැදි නැතැයි නොකියමු. නමුත් යුරෝපයේ වෙන රටකට වඩා රුසියාව ධර්මය හෝ ශීලාචාරකම අතින් පහත් යැයි සිතීම මුළාවකි. පසුගිය දවස්වල නිරායුධ සම්මේලනයේදී අවි ආයුධ සම්පූර්ණයෙන්ම නැතිකර දැමීමට ඡන්දය දුන් එකම බලසම්පන්න ජාතිය රුසියාව බැව් අමතක නොකළ යුතුයි.

සමසමාජය ආගමට විරුද්ධ බැවින් එය පැතිරවීමට ඉඩ නොදිය යුතු යැයි වේදිකාවල සිට කෑගසන සාන්තුවරයන් එමට සිටින එංගලන්තය පවා සම්පූර්ණයෙන් නිරායුධ වීම ගැන එකඟ නොවීය.

ක්‍රිස්තියානි දේවගැතිවරුන්ගේ ඝෝෂාව අසා අප සමහර බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාද සමසමාජ පක්‍ෂයට බයවී සිටිති. මෙයද අස්ථාන භීතියකි. බුදුරජාණන් වහන්සේ පැනවූ විනය ශික්‍ෂා පදවලට පයින් ගැසීම ප්‍රධාන කර්තව්‍යය කරගත් බොහෝ ශ්‍රමණ ප්‍රතිරූපකයන්ට පහර වැදෙනවාට සැකයක් නොමැතියි. නමුත් මේ ගැන බෞද්ධයන් කලබල විය යුතු නොවේ. නෛය¸ාණික ශාසනයේ යහපතට එය අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි.

යුරෝපීය මිෂනාරිවරුන් විසින් ක්‍රිස්තියානි ආගම ලක්දිව පැතිරවීම අපේ ජාතික පරිහානියට හේතුවිය. එහෙයින් ජාතියේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන දේශපාලන පක්‍ෂයක් ලක්දිව බලයට පැමිණීම ගැන මිෂනාරිවරුන් බියවීම යුක්තිසහගතය. නමුත් අවුරුදු දෙදහකට අධික කාලයක් අප ජාතියේ අභිවෘද්ධියට අවශ්‍ය ආධාරයක්ව පැවැති බෞද්ධාගමට අයත් අපට එලෙස බියවීමට කිසිම හේතුවක් නොමැත්තේය.

ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම්

(ප්‍රබුද්ධ ලිපි ග්‍රන්ථයෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here