යාල ජාතික වනෝද්‍යානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කොට අදාළ පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවැසීය.
යාල වනෝද්‍යානයේ නොහික්මුණු ලෙස හැසිරුණු පිරිසට මේ වනතෙක් නීතිය ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබීම පිළිබඳව මාධ්‍යවේදියෙක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
“ජනාධිපතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කොට දඬුවම් ලබාදිය යුතු පාර්ශ්වවලට දඬුවම් ලබා දෙන්නත්, දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නත් ආරක්ෂක අංශවලට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා.” යැයිද ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.
මේ අතර එම සිද්ධියට අදාළව යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරිමය වගකීම පැහැර හැරීම හා ඔවුන් විසින් මෙම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීමටද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.
එම විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් තීරණය කර තිබේ. කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සමඟ සාකච්ඡා කර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරිය පැවැසුවාය.
යාල වනෝද්‍යානය තුළ අනිසි ලෙස හැසිරුණු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ (26දා) පොලිස්පතිවරයාට අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත්ගේ අස්සනින් යුතුව ලිපියක්ද යොමු කර ඇත.
සවනි ශේශාධි